පූජ්‍ය දීවෙල මහින්ද හිමිට අක්තපත‍්‍ර ප්‍රදානය ජනපති අතින්

මාර් 24, 2019

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලද කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිකාරි පූජ්‍ය දීවෙල මහින්ද හිමියන් වෙත අක්තපත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (24) පස්වරුවේ කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

    උගත්, වියත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිදුකරන ශාසනික හා ආගමික මෙහෙවර අගයමින් ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ කාරක පාලක සංඝ සභාව මගින්, සිරි සීලවිමල ධම්මානන්ද වංසාවතංස සද්ධර්ම කීර්ති ශ‍්‍රී පටිපත්ති සෝභන, ගෞරව නාමය සහිතව රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපන පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූහ. අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. මහා සංඝරත්නය, ජනතා නියෝජිතයින්, සැදැහැවතුන් ඇතුළු පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලය අද (24) පස්වරුවේ විවෘත කෙරුණේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතිනි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරිහු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News