විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසි භාවය

මාර් 31, 2019

    විදේශගත ශ්‍රී ලාංකිකයන් 915 දෙනෙකු සඳහා ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය ඊයේ (30) අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාවල ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය ඇතුලු රටවල් කිහිපයක පුරවැසි බව ලබා සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස ද්විත්ව පුරවැසි භාවයට හිමිකම් ලැබීය. ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත්තේ 1987 වර්ෂයේ දී. 

    2015 ජනාධිපතිවරණයෙන් පසු ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ නව ක්‍රමෝපායක් සකස් කර ඇති අතර, ඉන් 2015 මාර්තු මස 23 වැනි දින සිට පුද්ගලයන් 36,080ක් සඳහා අවස්ථා 23 දී පුරවැසි සහතික පත් ප්‍රධානය කර තිබිණි. මේ අනුව ද්විත්ව පුරවැසි භාවය ලැබූ ශ්‍රී ලාංකිකයන් 915 දෙනා ද සමග මෙතෙක් ද්විත්ව පුරවැසි බවට හිමකම් ලබා ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 36,995 කි.

    ද්විත්ව පුරවැසි ප්‍රදානය කිරීමේ උත්සව ඇමතූ අමාත්‍යවරයා....

    1987 වර්ෂයේ දී මුල්වරට ද්විත්ව පුරවැසි බව ලබාදීම ආරම්භ කරන අවස්ථාවේ එවකට සිටි විපක්‍ෂය ලොකු විරෝධතාවක් දැක්වුවා. නමුත් මේ ඉතා වැදගත් දෙයක්. අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට උපත ලබා පිටරටවල ජීවත් වෙමින් වෙනස් අත්දැකීමක් ලැබූ පුද්ගලයන්ට මේ රටට නැවත පැමිණ මේ රටේ දියුණුවට, සංවර්ධනයට, ප්‍රගමනයට දායක විය හැකි අවස්ථාවක් මෙයින් උදාවෙනවා. පසුගිය කාලයක් යුද්ධය නිසා ද්විත්ව පුරවැසි බව ලබාදීම නැවතී තිබුණා. දැන් එය නැවත ආරම්භ කර තිබෙනවා.

    මේ ද්විත්ව පුරවැසි බව ප්‍රධානය කිරීමට ඉදිරිපත් කරන අයදුම් පත්‍රයේ වචනයක් නෑර පරීක්ෂා කර බලන නිසා ක්‍රමවේදයට යම් කාලයක් ගත වෙනවා. නමුත් අපි මෙය තවත් කඩිනම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතැම් අවස්ථාවල දී මේ දීර්ඝ ක්‍රමවේදය නිසා පිටරට සිටින ලාංකිකයන් ඒ සඳහා අයදුම් කරන්න උනන්දු වෙන්නේ නැහැ. මෙය කාර්යක්‍ෂ කිරීමේ අභියෝගය අපිට තිබෙනවා. පිටරටවල ඉන්න ලාංකිකයකුට දරුවෙක් ඉපදුනාම අපේ තානාපති කාර්යාලයට පැමිණ ඒ බව දැනුම් දුන්විට මෙහෙ පරිගණක දත්ත පද්ධතියට එය ඇතුලත් කිරීමේ ක්‍රමවේද සකස් කළ යුතුයි. අපි කොල පුරවලා කරන වැඩේ තාක්‍ෂණයෙන් කරන තැනට ගෙන ආ යුතු‍යි. අපි මේ ක්‍රමවේදවල යම් තරමකින් ඉස්සරහට ගිහින් තිබුණත් තවත් ඉස්සරහට යාමේ අවශ්‍යතාවක් තිබෙනවා.

    විදේශිකයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනක තැන්පතුවක් ඉදිරිපත් කළ විට ශ්‍රී ලංකාවේ වසර පහක වීසා ලබාගැනීමටත්, ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම් වසර 10කට වීසා ලබාගැනීමටත් අවස්ථාව ලබාදෙන ආකාරයේ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවයි. එමගින් වැඩිපුර විදේශිකයන් මේ රටේ පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වනවා“ යැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 11:25

    Latest News