ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ අයි.එම්.එෆ්. පැසසුමට

ජූනි 08, 2024

    ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ වන සාකච්ඡාව ලබන අඟහරුවාදා ආරම්භ කෙරෙන බව, අන්තර් ජාතික මූල්‍ය අරමුදල හෙවත් අයි එම් එෆ් සංවිධානය ප්‍රකාශ කරනවා.

    ශ්‍රී ලංකා රජය හඳුන්වා දුන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මේ වන විට ඵලදරමින් තිබෙන බවයි, අයි එම් එෆ් සංවිධානය කියා සිටින්නේ. අයි එම් එෆ් මාධ්‍ය ප්‍රකාශක ජුලී කොසැක් මහත්මිය, අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවති මාධ්‍ය හමුවකට ඊයේ සහභාගී වුණා. එහිදී ඇය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජය හඳුන්වා දුන් ප්‍රසංස්කරණ ඉතා ප්‍රශංසනීය ප්‍රතිඵල ගෙන දී ඇති බවයි.

    උද්ධමනය අඩු වීම, ආර්ථික වර්ධනය හා විදෙස් සංචිත යළි ශක්තිමත් වීම වැනි සාධක ඊට උදාහරණ බව ඇය පෙන්වා දෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ද සාධනීය ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි, ඇය සඳහන් කරන්නේ. චීන එක්සිම් බැංකුව සහ විදෙස් බැඳුම්කර හිමියන් සමග පවත්වන සාකච්ඡා අවසානයේ කඩිනමින් එකඟතාවට එළඹීමේ ප්‍රවනතාවයක් දක්නට ඇතැයි ද ජුලී කොසැක් මහත්මිය පෙන්වා දුන්නා.

    ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. පසුගිය වසරේ මුල් මාස පහ හා සසදන කළ, එය සියයට 11 යි දශම 8 ක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි, මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මැයි මාසයේ විදෙස් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 544 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    Latest News