රජයෙන් දෙවන වරටත් සිසුන්ට සුරක්ෂා රක්ෂණය

අප්‍රේ 04, 2019

    සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මහත්මිය ගිවිසුමට අත්සන් තැබුහ. 2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය එකඟතාව පළ කර තිබේ. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය පිරිනැමීමේදී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම අනුව වැඩි ප්‍රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර ගිවිසුමට එළඹ ඇත.

    සුරක්ෂා සෞඛ්‍ය, හදිසි අනතුරු සහ ජීවිතා රක්ෂණය ලෙස රක්ෂණා වරණ තුනකින් සමන්විතවේ. සෞඛ්‍ය රක්ෂණා වරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතාව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. හදිසි අනතුරු රක්ෂණාවරණය යට‍තේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක් පිරිනැමේ.

    ජීවිතා රක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර, දෙමාපිය මරණයක දී එක් අයෙකුට රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවේ. පවුලේ පාසල් යන සියලුම ළමයින්ට මව්පිය මියයාමක දී ප්‍රතිලාභ ලබාගත හැකියි.

    රජයේ පාසල්වල සිසුදරුවන්ට ද, පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යා රක්ෂාව සහතික කරමින් සුරක්ෂා සිසු රක්ෂණා වරණයේ ප්‍රතිලාභ පිරිනැමේ. සෑම පාසල් දරුවකුටම රුපියල් ලක්ෂ දහයකට අධික රක්ෂණා වරණ අවස්ථා හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය කෙරේ. 2017 ඔක්තෝම්බර් 01 වන දා සිට “සදා සුරකිමු - දැයේ දරුවන්” තේමා කර ගනිමින් සුරක්ෂා රක්ෂණාවරණය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මකවේ.

    මේ පිළිබඳ 0113641555 හෝ 0112369369 අංක වලින් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

    Latest News