පළාත්වල කිහිපයකට හෙට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අප්‍රේ 10, 2019

    මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර යන පළාත්වල හෙටත් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකියි. සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල, තරමක තද වර්ෂාපතනයක් මෙන්ම ප්‍රබල අකුණු තත්වයක් ද හටගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    හෙට දහවල් 12.10ට වනාතවිල්ලුව, ඔත්තප්පුව, සියඹලාගස්වැව, කට්ටමුරිච්චාන, රඹෑව සහ මීගස්වැව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. හෙට දිනයේ උපරිම උෂ්ණත්වය වාර්තා විය හැක්කේ අනුරාධපුර නගරයෙනි. එය සෙල්සියස් අංශක 38ක අගයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මාස ගණනාවක් පුරා පැවති නියඟය අවසන් කරමින්, මහනුවර ප්‍රදේශයට ඊයේ අධික වර්ෂාවක් පතිත විය. නගරය හරහා ගලා බසින මැද ඇළ ද පිටාර මට්ටමට ළඟා වී තිබූ බව අප වාර්තාකරු පවසයි.

    නියඟය අවසන් වී වැසි ලැබේවායි ප්‍රාර්ථනයෙන් මස්කෙළිය, මාඋස්සාකැලේ සමන් දේවාලයේ දී අද විශේෂ දේව පූජාවක් ද පැවැත්විණ. ඒ, අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහභාගිත්වයෙන්. අද සර්ව රාත්‍රික පිරිත් පිංකමක් පැවැත්වීමට ද නියමිතයි.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 19:16

    Latest News