මුල් පෙළේ ධන කුවේරයෙකුට දරු තිදෙනා අහිමි වූ ෂැන්ග්‍රිලා ප්‍රහාරය

අප්‍රේ 22, 2019

    ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීමට රජය සැලසුම් සකස් කරමින් පවතින බව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.

    ප්‍රහාරයෙන් විදෙස් සංචාරකයන් 38 දෙනෙකු මියගිය බව තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේදී මියගිය විදෙස් සංචාරකයන් පිලිබඳ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී. විදේශිකයන් 11 දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් ඉන්දීය, පෘතුගාල, තුර්කි, බ්‍රිතාන්‍ය, අමෙරිකානු හා නෙදර්ලන්ත යන රටවල පුරවැසියන් බවයි, වාර්තා වන්නේ. මළ සිරුරු 25ක් පමණ තවමත් හඳුනාගෙන නොමැති අතර, සංචාරකයන් 09 දෙනෙකු තවමත් අතුරුදන්වූවන් ලෙස සැලකේ.

    ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන ඇන්ඩර්ස් හොයිච් පෝල්සෙන්ගේ දරුවන් තිදෙනා ද ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙකු අද සඳහන් කලේය. නෙදර්ලන්ත ජාතිකයෙකු වන ඔහු බ්‍රිතාන්‍යයේ වැඩිම වටිනාකමකින් යුත් ඉඩම් හිමිකරුවා ලෙස සැලකේ. දරුවන් තිදෙනා අවසන් වරට ශ්‍රී ලංකාවේ පිහිනුම් තටාකයක් අසල සිට ගත් ඡායාරූපයක් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණ.

    බ්‍රිතාන්‍ය ජාතික බෙන් නෙල්සන්ට තම බිරිඳ හා දරු දෙදෙනා අහිමිවුණා. ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයා වන අලෙක්ස් හා 42 හැවිරිදි බිරිඳ ඇනීටාගේ සිරුරු මේ වනවිට හමුව තිබේ. එහෙත් කුඩා දියණියගේ සිරුර මේ දක්වා හඳුනා ගැනීමට නොහැකිවී ඇති බව වාර්තාවේ. සුප්‍රකට දකුණු ඉන්දීය නිලි රාධිකා සරත්කුමාර් ඊයේ ප්‍රහාරයෙන් යන්තමින් දිවිගලවා ගත් බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය. ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, තමා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් පිටත් වී මඳ වේලාවකින් බෝම්බ පිපිරීම සිදුවූ බවයි.

    මේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය අභියෝගාත්මක තැනකට මුහුණ දී සිටී. කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙනතුරු වසා දමන බව එහි පාලනාධිකාරිය අද ප්‍රකාශ කලේය. කිංග්ස්බරි හෝටලය ද සතියක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. දැනට මෙරටට පැමිණ සිටින සංචාරකයන් ගණනාවක් තම චාරිකා අවලංගු කර සිට රට බලා යන අතර, පැමිණිමට නියමිතව ඇති සංචාරකයන් සිය චාරිකා අවලංකු කිරීමේ ප්‍රවණතාවක් ද පවතී.

    අද බ්‍රිතාන්‍යයේ සිට පැමිනි ගුවන් යානයක ආසන වෙන් කළ 22 දෙනෙක් පැමිණ නැතැයි වාර්තාවේ. මේ අභියෝගය රජය හොඳින් වටහාගෙන ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානී කිෂු ගෝමස් මහතා පවසයි. මේ තත්වය යහපත් අතට හැරවීම සඳහා කෙටි කාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    Latest News