අදත් දීපව්‍යාප්ත මෙහෙයුම්....ත්‍රස්තවාදින් අවි ආයුධ අත්අඩංගුවට

අප්‍රේ 29, 2019

    බණ්ඩාරගම, අටුලුගම ගම්මානයේ නිවාස ආශ්‍රිත විශේෂ සෝදිසි මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරිණ.

    සිම්කාඩ් පත් රැසක්, වාහන අංක තහඩු කිහිපයක්, හිමිකාරිත්වය නොමැති ගුවන් ගමන් බලපත්‍රයක්, යුද හමුදා ක්‍රීඩා ඇඳුමක් සමඟ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සඟවා තිබූ විවිධ වර්ගවල ජීව උණ්ඩ සමඟ ගිනි අවියක කොටසක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය. මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත උරයක් තුළ බහා ළඳු කැලෑවක දමා තිබියදී මේවා සොයා ගත් බව, අනුරාධපුර පොලිසිය පවසයි.

    මේ අතර, සංග්‍රාමික ඇඳුම් හා පූජකවරුන් අඳිනු ලබන ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් අනුරාධපුර නගරයේ දී යුද හමුදා අත්අඩංගුවට පත් වූහ. ඒ, යුද හමුදාව කඩ 30 හා උදය මාවත ප්‍රදේශවල ක්‍රියාත්මක කළ සෝදිසියකදී. තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවෙකු ඇතුළු සිව් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැලිමඩ, බොරගස් ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කළ පොලිසිය හා ගුවන් හමුදාව එහි විවිධ ස්ථානවල සඟවා තිබූ රුපියල් කෝටි එක හමාරක මුදලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්ලාස්ටික් බඳුන්වල හා විවිධ ස්ථානවල ඒවා සඟවා තිබූ බවයි, පොලිසිය ප්‍රකාශ කලේ. ගෙහිමියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මුදල් ඉපැයූ ආකාරය හෙලි කිරීමට අපොහොසත්වීම නිසා ඔහු අත්අඩංගුවට ගැණින.

    මේ අතර පිපිරවීම් සඳහා යොදා ගන්නා සේවානූල් හා තව්හීද් ජමාත් සංවිධානයේ පත්‍රිකා සමඟ පුද්ගලයින් තිදෙනෙකු ද වැලිමඩ, බොරගස් ප්‍ර දේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

    කුලියාපිටිය, දුම්මලසූරිය, දිවුරුම්පොළ අරාබි විද්‍යාලයේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඊයේ සවස ක්‍රියාත්මක කෙරිණ. උල් පිහි 2ක්, පැරණි ජංගම දුරකතන 14ක්, සංයුක්ත තැටි ඇතුළු විවිධ උපාංග මෙහිදී හමුවී තිබේ.

    මතුගම, වැලිපැන්න, යටදොල මාර්ගයේ පාර්සලයක තිබූ ෆයිව් සීරෝ වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

    මේ අතර, රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඊයේ රාත්‍රී සිදු කළ සෝදිසියකදී කඩු 6ක් හා වායු රයිෆලයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙහෙයුම ක්‍රියාත්මක කළේ, පොලිසිය හා ගුවන් හමුදාව ඒකාබද්ධවයි.

    මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනා සැගවී සිටි ගම්පොළ නගරයේ පාවහන් අලෙවි සැල අද යළි පූර්ණ පරීක්‍ෂාවට ලක් කෙරිණ. ඒ, පොලිසිය හා නිල සුනඛයෙකුගේ සහයෙන්. මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා සහ මොහොමඩ් ඊබ්‍රහිම් ශාහිඩ් අබ්දුල්ලා යන දෙදෙනා සැඟව සිටියදී පෙරේරා රාත්‍රී අත්අඩංගුවට ගැනුණේ, මේ වෙළෙඳ සැලේදී.

    කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් වසම්වලට අද සවස 6.00 යළි ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය හෙට උදේ 8.00ට ඉවත් කිරීමට නියමිතයි. අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ කල්මුණේ ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍ය අයුරින් ක්‍රියාත්මක වූ බව, අප වාර්තාකරු පවසයි. ගමනා ගමන සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 20:25

    Latest News