වෛද්‍ය ෂාෆි සම්බන්ධ ප්‍රකාශ 758ක් (වීඩියෝ)

ජූනි 19, 2019

    කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ 758ක් සටහන් කරගෙන ඇතැයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණය බාරගත් මැයි 27 සිට සති තුනක පමණ කාලයක් කළ පරීක්ෂණ ප්‍රගතිය පිලිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු අද (19) මේ බව කියා සිටියේය. වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම සිදුකරගත් මව්වරු 601කගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු 7ක්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක්, නොමේරූ ළදරු සම්බන්ධ වෛද්‍යවරු 6ක්, සිසේරියන් සැත්කම සඳහා සහය ලබා දෙන වෛද්‍යවරු 11ක් හා නිර්වින්දන වෛද්‍යවරු 10ක් එම ප්‍රකාශ ලබාගත් අය අතර සිටිති.

    හෙද කාර්ය මණ්ඩලයේ 70කගේත්, ප්‍රධාන හෙද නිලධාරිනියකගෙත්, උපස්ථාන කාර්ය මණ්ඩලයේ 18කගේත්, එක් මෞත්‍රලිංගික විශේෂවරයෙකුගෙත් සහ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකගෙත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. එමෙන්ම තවත් ඊට සමබන්ධ පුද්ගලයින් 31කගේ ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය. අත්අඩංගුවේ පසුවන වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ ප්‍රකාශ කිහිප අවස්ථාවකදීම සටහන් කරගැනීමද සිදුව තිබේ.

    මෙම සිද්ධිය හා සම්බන්ධ නඩුව ලබන 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලුම ප්‍රකාශවල සාරාංශයක් අධිකරණයට එදින ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම පරීක්ෂණයට සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවස්ථා කිහිපයකදී නියෝග ලබා ගෙන තිබේ. ඒ අනුව කුරුණෑගල රෝහලේ අධ්‍යෂකවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහය ලබා ගැනිමේ නියෝග ගෙන ඇතැයි ඔහු කියා සිටියේය. පැමිණිලිකාර මව්වරුන් පරීක්ෂා කිරීමට විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරිමට නියෝගයක් අධිකරණයෙන් ගෙන ඇත. ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු 2දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත නිකුත් කිරිමට අධිකරණ නියෝග දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇති බව ඔහු පැවසීය.
    පසුගිය වසර 5ක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සහ එයින් සංකූලතා ඇති බවට ලැබුණු වාර්තා ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අධිකරණ නියෝගයත් ලබාගෙන ඇත. එමෙන්ම අදාළ මව්වරු පරීක්ෂා කිරීමට තීරණය කර ඇති කාසල් වීදියේ කාන්තා රෝහල හා ද සොයිසා කාන්තා රෝහලට එම පරීක්ෂාවන්ට අදාළ උපකරණ සහ පහසුකම් සපයන ලෙසට අධිකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:01

    Latest News