කන්ජිපානි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අධිකරණයට

ජූනි 26, 2019

    ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් නිරීක්ෂණය සඳහා අද(26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කරනු ලැබිණි.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමණූවනු ලැබිණි.

    මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරු දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

    මෙම සැකකරු වෙනුවෙන් මීළඟ දිනයේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිට කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

    කන්ජිපානි ඉම්රාන් නමැත්තාට මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය මීට පෙර කියා තිබිණි.

    ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්ෂණය සඳහා අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

    Latest News