හිටපු ජනපති, සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ආගමන විගමන නීති උල්ලංඝනය කරලා

ජූනි 26, 2019

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ චම්පික කරුණාරත්නගේ ගිණුම් පහක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

    එංගලන්තයේ පුරවැසිභාවය තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජාතික ලොතරැයි මණ්ඩලය, මහාමාර්ග අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක තනතුරු දරමින් රුපියල් මිලියන ගණනක් උපයා තිබීම සහ රත්තරන් කිලෝ 1.1ක් තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ චම්පික කරුණාරත්න යන අයගේ ගිණුම් පහක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද(26) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දී ඇත.

    මේ වන විට සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් වරින් වර නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත විමර්ශන සිදු කරන බවද පොලිසිය කියා සිටියේය.

    තම සේවාදායකයාගෙන් පොලිසිය විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා දීමට නම් ඔහුගේ පැරණි බ්‍රිතාන්‍ය රජයට අයත් විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය බවට ඔහුගේ නීතිඥයා සිදු කළ දැනුම් දීමකට අනුව ඔහුගේ එම ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක් නිකුත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් නිකුත් කළේය. තවද ඔහුගේ විදෙස් ගමන් තහනම ඉදිරි දින දක්වා ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසටද නියෝග කර ඇත.

    එමෙන්ම සැකකරු සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් ව්‍යපාර කර ඇති බවත් රුපියල් මිලියන 10ක මෙන්ම මුදල් විශුද්ධි කරණය සම්බන්ධයෙන්, වෙන්දේසියකින් නීත්‍යානුකූල නොවන අයුරින් රත්තරන් කිලෝ 1.1ක් තම සන්තකයේ තබා ගැනීම, පුරවැසිභාවය නොමැතිව රාජ්‍ය ආයතන ගණනාවක සේවය කරමින් වැටුප් ලබා මුදල් උපයා තිබීම ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙම මුදල් උපයා තිබීම සම්බන්ධයෙන්ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන දෙසැම්බර් මස 03 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටින චම්පික කරුණාරත්න යන අය අද(26) අධිකරණයේ පෙනී සිටියේය.

    Latest News