පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ ළමුන් සඳහා භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය (වීඩියෝ)

ජූනි 26, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් වශයෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් වෙන් කොට ඇත.

    එසේම, මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300ක මුදලක් බාහිර ප්‍රදාන මගින් ලබාගැනීමට අපේක්ෂිතය. මෙයට අමතරව හානි පූර්ණ කාර්යාලය හරහා ද මෙම ළමුන්ට අවශ්‍යතාවය පරිදි ආධාර සලසනු ඇත. දැනට රෝහල්ගත වී සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් ඔවුන්ට විදෙස් ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සකසා තිබේ. එසේම මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

    මේ වනවිට මියගිය පුද්ගලයින් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185ක වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලකුත් ගෙවා අවසන් කොට ඇත. මීට අමතරව, බෝම්බ ප්‍රහාර හේතුවෙන් හානියට පත් වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව ශාන්ත සියෝන් දේවස්ථානය හා කොළඹ කොච්චිකඩේ ශාන්ත ඇන්තනීස් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කරමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට නිදහස් කර ඇත.

    මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව මිනුවන්ගොඩ, කුලියාපිටිය, හෙට්ටිපොල වැනි ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හානියට පත් දේපල වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කොට ඇත. සම්පූර්ණ හානිපූර්ණ වන්දිය ගෙවන තෙක් බොහෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස අත්තිකාරම් මුදලක් ගෙවීමට හානි පූර්ණ කාර්යාලයට උපදෙස් දී ඇත. වන්දි ගෙවීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව 0112-575803/ 0112-575813/ 0112-575826 යන දුරකථන අංක ඔස්සේ හෝ 0112- 575815 යන ෆැක්ස් අංකය ඔස්සේ හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්‍ෂ ආනන්ද විජේපාල මහතාගෙන් විමසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 26 ජූනි 2019 18:48

    Latest News