පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක හිමි වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍ර ප‍්‍රදානය

ජූලි 04, 2019

    ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද රයිගම් සල්පිට කෝරලද්වයේ උප ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (04) පස්වරුවේ මහනුවර, මල්වතු විහාරයීය ශ‍්‍රී පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.

    1961 වසරේ මතුගම දී පැවිදි දිවියට එළඹී උන්වහන්සේ අඩසියවසක් ඉක්මවා ගෙවු භික්ෂු දිවිය තුළ වාද්දුව ප‍්‍රදේශයට පමණක් නොව සමස්ත දේශයටත්, විදෙස් ධර්මදූත සේවයේ යෙදෙමින් ජාත්‍යන්තර බුදු සසුනටත් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි. ලාංකේය බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ මෙහෙවර අතර, වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථානය ගොඩනැගීම, සිරි මහමිහිදු පිරිවෙන ආරම්භ කර පවත්වාගෙන යාම, පැවිදි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පනස් නමක් ශාසනයට දායාද කිරීම ඇතුළුව වාද්දුව ප‍්‍රදේශයේ බෞද්ධ ආගමික ප‍්‍රබෝධය වෙනුවෙන් සිදුකළ සේවාවන් රැසකි. ධර්මවිජය ව්‍යාපාරයේ අනුශාසක, ධර්මපාල මහා විද්‍යාලයේ විශ‍්‍රාමලත් විදුහල්පති, සීවලි දහම් පාසල නිර්මාතෘ අනුශාසක සහ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ආදි තනතුර දරමින් උන්වහන්සේ විශිෂ්ට ආගමික සහ සමාජීය මෙහෙවරක නිරතව සිටී. 

    pre px 900 04 07 19

    අද පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහා නායක ස්වාමින් බැහැ දැක සුව දුක් විමසීය. අනතුරුව මහානායක ස්වාමින් වහන්සේ පෙරටු කොටගත් පෙරහැරෙන් පිරිස මංගල උපෝසථාගාරය වෙත පැමිණියහ. අභිනව ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍රය පිළිගැන්වීම මල්වතු මහානායක හිමිපාණන් වහන්සේ අතින් සිදු වූහ. සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමින්වහන්සේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කෙල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේ, පූජ්‍ය ගෝණදුවේ ගුණානන්ද නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 20:20

    Latest News