"Port Elevated Highway" ඉඩ දෙන්න සාගල නිරික්ෂණයක

ජූලි 08, 2019

    වරාය අධිකාරියට මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට නියමිත බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍ය සාගල රත්නායක මහතා අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කැනල් අංගන පරිශ්‍රයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වු අතර නව ව්‍යාපෘතියට අනුව ඇතැම් ගොඩනැගිලි ඉවත් කිරීමට සිදු වන බව ඔහු කියා සිටියේය. වරාය අධිකාරිය ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල මහල් 17 කින් යුතුවේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සහ ප්‍ර‍ධාන ඉංජිනේරු ශිල්පීන් පිරිසක් ද එක්වූහ.

    වරාය නගරය ආශ්‍රිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකවේ. එහි එක් අදියරක් ලෙසින් ක්‍රියාත්මක වරාය අභ්‍යන්තරයෙන් ගමන් ගන්නා කැලණිතිස්ස සිට ගාලු මුවදොර දක්වා වූ අධිවේගී මාර්ගයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගොඩනැගිලි රාශියක් ඉවත් කෙරේ.

    ඊට පිළියමක් වශයෙන් කැනල් අංගන පරිශ්‍රයෙහි නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිවන අතර ඒයින් වරාය සේවා ලාභීන්ට එකම ස්ථානයකින් සියලුම සේවා සලසා ගැනීමේ අවස්ථාව සහ සුහුරු වරායක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ හැකියාව උදා වේ. මෙම පරිපාලන ගොඩනැගිල්ල සඳහා බිලියන 05 ක වැය කෙරෙන අතර වසර 02 කින් නිම කිරීමට යෝජිතයි.

    මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ආශ්‍රිත භූමි ප්‍ර‍දේශයක ඉදිවන බැවින් සේවා ලාභීන්ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගු ගනුදෙනු තවදුරටත් කාර්යක්ෂම සහ පහසුවේ.

    "Port Elevated Highway එකක් අධිවේගී වරාය පිවිසුම් මාර්ගයක් ඉදිවෙනවා. ආසියානු සංවර්ධන අරමුදලෙන්, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ඒ කටයුතු කෙරෙනවා. ඒ පිවිසුම් මාර්ගය ඉදිකරන කොට ඉඟුරු කඩේ හංදියෙන් ආරම්භ වෙලා වරාය දක්වා එනවා. එතකොට වරායේ යම් යම් ගොඩනැගිලි ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ ඉවත් කරනකොට මූලස්ථාන ගොඩනැගිල්ලත් එතනින් ඉවත් කරන්න වෙනවා. ඒ අධිවේගී පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා.

    ඒ නිසා දීර්ඝ කාලයක් සාකච්ඡා වෙමින් තිබුණ මේ මූලස්ථාන ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඉක්මන් කරන්න තමයි අද අපි කටයුතු කරගෙන යන්නේ. ඒ ගොඩනැගිල්ල ඉදිකරන්නත් ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට අරමුදල් ලැබෙනවා. ඒ ව්‍යාපෘතියේ කොටසක් විදියට. වරාය සතු ගොඩනැගිලි මෙතන ස්ථාපිත කරන එකේ අරමුණ තමයි තියෙන්නේ. අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්. ලංකාවේ ඉංජිනේරුවරුන්, ලංකාවේ ඉදිකිරීම් සමාගම් තමයි අපි පාවිච්චි කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඉතා විශාල අභියෝගයක්.

    වරාය අධිකාරියත් ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියත් භාර අරගෙන තියෙනවා වසර 02 ක් ඇතුළත දී මේකෙ වැඩ කටයුතු නිමකරන්න. ඒ වගේම අධිවේගී පිවිසුම් මාර්ගයේ වැඩ කටයුතු වසර 03 ක් ඇතුළත දී අවසන් වෙනවා. ඒකෙන් විශේෂයෙන් වරාය ඇතුළට එන වාහන වල තදබදයත් නගරයට ඒ නිසා අවම වෙනවා. ඒ වගේම එයින් නගරය ඇතුළත වාහන වලටත් විශාල සහනයක් ලැබෙනවා. Port Elevated Highway ව්‍යාපෘතිය ඒ කියන්නේ ගොඩනැගිල්ල නැතිව, මාර්ගයේ කටයුතු සඳහා පමණක් රුපියල් බිලියන 26 ක් වැය වෙනවා.

    ඒ වගේම මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 05 ක් ආසියනු සංවර්ධන බැංකු අරමුදල් වලින් අපට ඒක අඩු පොලී ණයක් වශයෙන් ලැබෙනවා. මාර්ගයත් අත්‍යවශ්‍ය දෙයක්. එයින් නගරයටත් සහනයක් එනවා. ඒ වගේම වරාය කටයුතු වලටත් විශාල සහනයක් එනවා. මේ ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් සාකච්ඡා වෙලා තිබුණ ව්‍යාපෘතියක් යැයි“ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේය.

     

    Latest News