ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට

ජූලි 12, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසර 10කට පසු පළමු වරට මේ වසරේදී ගෙවුම් ශේෂයේ අතිරික්තයක් වාර්තා වූ බවයි. 

    “ජුනි මාසයේ උද්ධමනය ටිකක් අඩුවුණා. ඉදිරි මාස කිහිපයේදී එය තරමක් වැඩි විය හැකියි. කොහොම වුණත්, උද්ධමන උච්ඡාවචනය සිදුවුණේ, අප අපේක්‍ෂා කළ පරාසය තුළ පමණයි. අවුරුදු 10කට පසු පළමුවරට මේ වසරේ මුල් කාර්තුවේදී. ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති වුණා. එය ඉතා සුබදායී ලක්‍ෂණයක්. රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව සියයට 4.1කින් අතිප්‍රමාණය වීමටත් එය හේතු වුණා. අපනයන අඛණ්ඩවම වර්ධනය වීම සහ ආනයන තියුණු ලෙස පහළ යාමත්, 2019 වසරේ පළමු මාස 4 තුළ දැකිය හැකි කැපී පෙනෙන ලක්‍ෂණයක්. ජුනි මාසයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව නිකුත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන වර්ධන අපේක්‍ෂා පිළිබඳ ආයෝජකයින්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කරනවා. එම බැඳුම්කර නිකුතුවෙන් ජුනි මාසය අවසානයේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 8.9 දක්වා ඉහළ ගිහින්. සංචාරක අංශය යථා තත්වයට පත්වීම සහ අපනයන ක්‍ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය ද නිසා ආර්ථිකය, කඩිනමින් යථා තත්වයට පත්වීම පිළිබඳ විශ්වාසය ගොඩනැඟී තිබෙනවා. ඒ අනුව, මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.5 මට්ටමේත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.5ක් මට්ටමෙන් නොවෙනස්ව පවත්වා ගත යුතු බවයි.

    Latest News