සයිටම් උපාධිධාරින් ලියාපදිංචියට නියෝග: වෛද්‍ය සභාව මුලික අයිතිවාසිකම් කැඩු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ජූලි 30, 2019

    සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කළේය.

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් එස්. එම්. හල්පෙ, ඩී. ටී. පඬුවාවල සහ කේ. පී. මාරපන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදුන්, බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී. දෙහිදෙණිගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ රිට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද තහවුරු කළ බව පෙත්සම්කරුවන් මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් කියා සිටි. එම නියෝග තිබියදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචි හිතාමතාම ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙත්සම්කරුවන් වන උපාධිධාරීන් කියා සිටි.

    පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සදහන් කර සිටියේය.

    මීට අදාළව බුවනෙක අලුවිහාරේ සහ දෙහිදෙනිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන්ව වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි නොකිරීම තුළින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනයක් සිදුකර ඇති බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාල සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර භියාචනය අධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළේය.

    සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙස වෛද්‍ය සභාවට නියෝග නිකුත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 20:22

    Latest News