ඉදිරි දින කිහිපයේ සුළං තත්වයේ අඩුවීමක්

අගෝ 09, 2019

    දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේ දී අඩුවෙතැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    පෙරේදා සහ ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික සුළං හේතුවෙන් නිවාස සහ දේපළ රැසකට හානි සිදුවිය. පීඩාවට පත්වූවන් පිළිබඳ තොරතුරු කඩිනමින් ග්‍රාම සේවා නිලධාරීන්ට දැනුම් දෙන ලෙසයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. අධික සුළඟ සහ වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් 4918ක් පීඩාවට පත්ව සිටී. අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1,124ක්. නිවාස 17කට පූර්ණ හානි සිදුව තිබේ. අධික සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටීම සහ මාර්ග අවහිරවීම් ද වාර්තා විය.

    උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස සහ රාත්‍රී කාලවලදී සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50ත්, 60ත් දක්වා ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Last modified on සිකුරාදා, 09 අගෝස්තු 2019 19:05

    Latest News