සුළං තත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක්

අගෝ 30, 2019

    පවතින සුළං තත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ තීරයට ඔබ්බෙන් වන මුහුදුබඩ ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බැවින්, නාවික හා ධීවර ප්‍රජාවට සැලකිලිමත්වන ලෙස ද ඉල්ලීමක් කෙරේ. උතුරු පළාතේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකියි. උතුරු මැද සහ දකුණු පළාත්වලත්, පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය වීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ත්-100ත් පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    rain px 900 30 08 19

     

    මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇද හැලෙන බව අප වාර්තාකරු පවසයි. මේ හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ බාර ඉංජිනේරුවන් පැවසූහ. එම නිසා කැනියොන්, ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව ඔවුන් පවසති.

    අධික වර්ෂාව හේතුවෙන් බද්දේගම, ගල්කැටියමුල්ලවත්ත ප්‍රදේශයේ කන්දක් නායයාමෙන් නිවසකට හානි සිදුවිය. ඉන් කිසිවෙකුටවත් හානි සිදුව නැහැ. මේ අතර, ගාලු පාරේ සන්දරවල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් දුරකතන රැහැන් පද්ධතියට හානිවී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය එම ගස ඉවත් කරනු ලැබීය.

    කලු ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. රත්නපුර නගරය අවට පහත් බිම් රැසක් සහ නිවාසවල බිම් මහල් ජලයෙන් යටවී තිබේ.

    කලුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කලු ගඟේ සහ අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. ඒ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බව අප වාර්තාකරු පවසයි.

    තංගල්ල, හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලූණම ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා සිදුවූ බව හුංගම පොලිසිය පවසයි. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ගස කපා ඉවත් කෙරිණ.

    මාවනැල්ල පෞද්ගලික රෝහලක් ඉදිරිපිට පස් කපන ස්ථානයක ඉවුරක් කඩා වැටීමෙන් ඒ අසළින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රීයේ ඊට යටවී තිබේ. පසුව ඍවුන් බේරා ගනු ලැබීය.

    Latest News