ජපානයේ රැකියාවට යන ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත්

අගෝ 30, 2019

    ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 08ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් අද (30) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණ.

    මෙම පිරිස ජපානයේ පුහුණුව සදහා පිටත්වන 15 වන කණ්ඩායම වන අතර සාත්තු සේවා අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තා ශ්‍රමිකයින් 6 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි ශ්‍රමිකයින් 8 දෙනෙකු ඇතුළත්වේ.

    මෙම පුහුණුලාභීන් සදහා කාර්යාංශයේ රත්නපුර පුහුණු මධ්‍යස්ථානයේ හා බදුල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නේවාසිකව පුහුණුව පිරිනැමිණ. එහිදී ජපන් භාෂාව, ජපානයේ ජීවත්වන අයුරු, සංස්කෘතිය හා රැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය වන පුහුණුව ලබාදී තිබෙන අතර, ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට විශේෂ පුහුණුවක්ද ලබාදිනි. ඊට අමතරව ජපානයට ගිය පසු එහි රැකියාව ආරම්භ කිරීමට ප්‍රථම එක් මසක පුහුණුවක්ද පිරිනැමේ.

    මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 3ක් වන අතර, සම්පූර්ණයෙන් නොමිළේ සිදුකරන මෙම වැඩසටහන මගින් කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් මෙම පුහුණු ලාභීන්ගෙන් අය නොකෙරේ.

    සීමාවාසීක රැකියා පුහුණු වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රමිකයින් 102ක් ජපානයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, තවත් 110 පිරිසක් ජපන් රැකියා සදහා පිටත්ව යාම සදහා පුහුණුව ලබමින් සිටිති.

    මෙම අවස්ථාව සදහා අයි. එම්. ජපාන් ආයතනයේ ශ්‍රි ලංකා කළමනාකරු එච්. කවහාරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ, පුහුණු හා බඳවාගැනීම්) මංගල රන්දෙණිය, අලෙවිකරණ අංශයේ කළමනාකරු අශෝක පොල්ගස්දෙනිය යන මහත්වරුන්ද එක්ව සිටියහ.

    japanjob1 px 900 19 08 3

     

     

    Latest News