හම්බන්තොට අධිවේගී මාර්ගයේ 3 සහ 4 අදියර ලබන මස ජනතා අයිතියට

අගෝ 31, 2019

    මාතර සිට හම්බන්තොට හරහා ම්ත්තල දක්වා වූ දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුවේ තුන්වන සහ හතරවන කොටසේ වැඩ අවසන් කර තිබේ.

    සම්පූර්ණ ව්‍යාපෘතියේ දිග ප්‍රමාණය කිලෝ මීටර 96ක්. දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ අදියර 4කින් යුක්තයි. පළමු අදියර යටතේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර 30ක දුරක් ද දෙවන අදියර සඳහා බෙලිඅත්ත සිට බරවකුඹුක දක්වා කිලෝ මීටර 26ක් ද, තුන්වන අදියර යටතේ බරවකුඹුක සිට අන්දරවැව දක්වා කිලෝ මීටර 15ක් ද හතරවන අදියර යටතේ අන්දරවැව සිට හම්බන්තොට සහ මත්තල දක්වා කිලෝ මීටර 25ක් ද ව්‍යාපෘතියට අයත්. ඒ සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 250ක්. තුන්වන සහ හතරවන අදියරේ වැඩ මේ වනවිට අවසන් කර තිබේ. මාර්ගය ඉදිකිරීමේදී අධිවේගී මාර්ගය හරහා දිවෙන අතුරු මාර්ග සියල්ල ගුවන් පාලම් හරහා සංවර්ධනය කර අවසන්. සතුන් සඳහා ද මාරුවීමේ උමං මාර්ග ඉදිකර තිබේ.

    පරිසරයට සිදුවන හානිය උපරිමයෙන් අවම කර ගැනීම ව්‍යාපෘතියේ විශේෂත්වයයි. කෘෂිකර්ම නිම්නයන්හිදී මාර්ගය කුළුණු මතින් ඉදිකිරීම සහ ජල උමං සහ අලි වැට ඒ අතර වැදගත්වේ.ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ චයිනා එක්සෙන්ස් බැංකුවයි. මහාමාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. තුන්වන අදියර යටතේ ඉදිකිර ඇති බරවකුඹුක සිට අන්දරවැව දක්වා වූ මාර්ගය වලවේ ගඟ හරහා ඉදිවී ඇති මීටර 600ක දිගු පාලමකින් යුක්තයි. මාර්ගය දිව යන්නේ වලවේ නිම්නයේ මහවැලි කෘෂි ප්‍රදේශයක් හරහායි. අදියර 4 අන්දරවැව අන්තර් හුවමාරුවෙන් ආරම්භ වී හම්බන්තොට හරහා මත්තල දක්වා විහිදේ.

    තුන සහ හතර මාර්ගයේ දී බරවකුඹුක, සූරියවැව, අන්දර වැව අන්තර් හුවමාරු හා මත්තල හම්බන්තොට පිවිසුම තුළින් අනෙකුත් මාර්ග සඳහා පිවිසිය හැකියි. හුවමාරුවේදී ලංකාවේ පළමුවරට අධිවේගී මාර්ගයකින් තවත් අධිවේගී මාර්ගයකට මාරුවීමේ අත්දැකීම් දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව විසින් අත්කර දෙනු ඇත.

    Latest News