ජනතාව ඉල්ලන නායකයාව ජනපති අපේක්ෂක කළ යුතුයි: අමාත්‍ය කබීර් හෂිම් (වීඩියෝ)

සැප් 07, 2019

    එක්සත් ජාතික පක්‍ෂයට දිනන්න පුලුවන්, වැඩියෙන්ම ජනතාව ඉල්ලන නායකයාව ජනපති අපේක්ෂක ලෙස නම් කළ යුතු යැයි අමාත්‍ය කබීර් හෂිම් පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කොළඹදී අද කැඳවා තිබිණ.

    එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා...

    “දැන් වෙනකොට අපිට පෙනී යනවා මේ රටේ මිනිස්සු ඉල්ලන දේ. ඒ නිසා අපි ඒ මතයේ ඉඳලා. අපි බලාපොරොත්තු වෙනවා පක්‍ෂයේ නායකතුමන් සහ බහුතරයක් එක්ක සාකච්ජා කරලා හොඳ තැනකට එන්න. එක්සත් ජාතික පක්‍ෂයට දිනන්න පුලුවන්, වැඩියෙන්ම ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඉල්ලීමට සුදුසු වන නායකයාව පත් කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂකයා කරන්න කියලා එක්සත් ජාතික පක්‍ෂයේම බිම සිට උඩහට එනකම් බහුතරයක්ම ඒ ඉල්ලීම කරනවා. ඒ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂයෙන් විතරක් නොවෙයි ඉන් එහාට ඒක ගිහිල්ලා තියෙනවා. සිවිල් සමාජය, අනෙකුත් පක්‍ෂවල නායකයන් අනෙක් අපේ සන්ධානයට සහය දෙන දේශපාලන නායකයන් පවා අද ඉන්නේ අහවලාට තමයි මේ අපේක්‍ෂකත්වය දිය යුත්තේ කියලා. එතුමාට වඩා තව කෙනෙක් ඉන්නවා නම් අපි කැමතියි. රැල්ලක් තියෙනවා අපිටත් මෙහෙම දිනන්න පුලුවන් කියලා අපි කැමතියි ඕන කෙනෙක් දාන්න. එච්චරයි අපි කියන්නේ. අපි විශ්වාස කරනවා අපේ අගමැතිතුමා හරි තැනක ඉන්නේ. අපි වෙන තීන්දුවකට, තීරණයකට යන එක වැරදියි“ යැයි කබීර් හෂීම් මහතා පැවසීය.

    අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර....

    “මේ තීරණය ගනිද්දි ජනතාවගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. අපි මොන තීරණ ගත්තත්, ජනතාවගේ ඡන්දේ ගන්නේ. ජනතාවගෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මේකට ගන්න ඕනේ. මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තෙන් අපේක්‍ෂකයා තෝරනවා නම් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් කියලා මම කියනවා. පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 108 දෙනාගෙන් 97 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්තයා ඕනේ කියලා ප්‍රකාශ කරලා කිව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරන්න කියලා. වඩාත් සුදුසුයි අගමැතිතුමාගේ ගෞරවනීයත්වය, එතුමගේ තියෙන තනතුරු සියල්ල සමඟ සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා කළ යුතුයි කියලා අපි කල්පනා කළා“ යැයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 20:30

    Latest News