මෙම නව සංවර්ධන සැලැස්ම යාපනයේ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට සකස් කළ බවත්, එය ක්‍රියාත්මක කිරීම තුළින් යාපනයේ පූර්ණ සංවර්ධනයක් ඇති කොට ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම තම අරමුණ බවත් වික්‍රමසිංහ මහතා පෙන්වාදේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව, යාපනය නගර සභා පිටියේ පැවැති ජන හමුවකදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පෙරවරුවේ යාපනයේ නව බස් නැවතුම්පොළ නිරීක්ෂණය කරමින් එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බලනු ලැබීය. අනතුරුව යාපනය නගර ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ද අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් සිදුවිය. යාපනය, කොටුවේ පැවැත්වෙන "එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය ද වික්‍රමසිංහ මහතා විසින් නිරීක්ෂණය කළේය.
නගර සභා පිටියේ පැවැති ජනහමුව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....
යාපනයේ නගර සභා ගොඩනැගිල්ල යළි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට අද සහභාගීවීමට හැකිවීම ඉතා සතුටුදායක අවස්ථාවක් ලෙස මා සලකනවා. මේ ගොඩනැගිල්ල යාපනයේ නගරයේ තිබෙන විශාල මෙන්ම අලංකාර ගොඩනැගිල්ලක් බව කිව යුතුයි. මේ ගොඩනැගිල්ල යාපනය සංවර්ධන සැලැස්මේ එක් පියවරක් බව සඳහන් කළ යුතුයි. යුද්ධයෙන් විනාශ වූ යාපනය නගරය ගොඩනැගීම සඳහා 1995 ත් 2002 ත් උත්සාහ කළා. නමුත් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වුණා. නැවත 2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව යාපනය දියුණු කිරීමට පියවර ගත්තා.
යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලැස්මක් ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සමග සාකච්ඡා කර සකස් කර තිබෙන බව කිව යුතුයි. මත්කුඩු ජාවාරම ද අප මර්දනය කළ යුතුයි. ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. නව කර්මාන්ත ඇති කළ යුතුයි. නව තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි.
ඉදිරි අවුරුදු 05 ඉලක්ක කරගෙන යාපනය දියුණු කිරීම සඳහා වන සංවර්ධන සැලැස්මක් අප සකස් කර තිබෙනවා. මෙතෙක් කිසිදු පාර්ශවයක් මෙවැනි සංවර්ධන සැලැස්මක් කෙරෙහි අවධානය යොමු කර නැහැ. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඔබේ සහය මා ඉල්ලා සිටිනවා. අප සියලූ දෙනා අත්වැල් බැදගනිමින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා දියුණු නව යාපනයක් බිහි කරමු.
යාපනය අර්ධද්වීපයම දියුණු කිරීම සඳහා වත්මන් රජය නව සංවර්ධන සැලැස්මකට අනුව ක්‍රියා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය. උතුරේත්, දකුණේත් ජනතාව විශාල වශයෙන් මේ වනවිට රට අතහැර ගොස් සිටින බව පැවසූ චම්පික රණවක මහතා මේ තත්වය වෙනස් කර මේ රට සියලූ ජාතීන්ට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කළ යුතුව තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීමට අනුව මේ වනවිට උතුරු පළාත තුළ විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ජනමාධ්‍ය ඔස්සේ දැනගැනීමට හැකි වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පැවසිය. ඒ පිළිබඳව තමා සතුටු වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම ප්රජාතන්ත්රවාදය තවත් ශක්තිමත් වනු ඇති බව විශ්වාසය යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවන්ට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඊ. ආර්නෝල්ඩ් යන මහත්ම මහත්මීන් ප්රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.