Mp ජොන්ස්ටන්ට එරෙහිව සතොස නඩුව විභාගයට ගැනීම වළකමින් නියෝගයක්

සැප් 18, 2019

    පසුගිය රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවිමෙන් රජයට රුපියල් කෝටි 04ක් පාඩුවක් කිරිමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකළ නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබිණ. නඩු විභාගය සඳහා ලබන 09 වනදා කැඳවීමට ද නියම කෙරිණ.

    ස.තො.ස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටි.

    එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බවයි ඒ මහතා කියා සිටි.

    මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය ඉල්ලා තිබේ.

    Latest News