ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් ලබන සඳුදා (07) වසා තැබේ

ඔක් 03, 2019

    ජනාධිපතිවරණයට නාම යෝජනා බාර ගන්නා ලබන සඳුදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ෆාස තුනක සියලු පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

    අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් තුනක් ද එදින වසා තැබෙන බවයි. ආරක්‍ෂක හේතූන් මත ලබන සඳුදා උදේ 7.00 සිට පස්වරු 1.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබේ. ඒ, මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් සමඟ පැමිණෙන පක්‍ෂ ක්‍රියාකාරීන් සඳහා රථ වාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය සහ ඒ අවට වෙන්කර ඇති නිසයි. එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලු පාසල් ද, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ලබන සඳුදා වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය දී තිබේ.

    Latest News