සාපෙළට උපකාරක පන්ති අද රැයින් තහනම්

නොවැ 27, 2018

    අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති සංවිධාන කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    දෙසැම්බර් 03 වැනිදා ආරම්භ වන විභාගය අවසන් වන්නේ 12 වැනිදායි. රට පුරා විභාග මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැටඑකක දී විභාගය පැවැත්වීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන් හාරලක්ෂ විසි දෙදහස් අටසිය පනහක් හා පෞද්ගලික අයැදුම්කරුවන් දෙලක්ෂ තිස් තුන්දහස් හත්සිය අනූ එකක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරු වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රශෙපත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ ලිපිනයන් වෙත මේ වන විට තැපැල් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි.

    විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබා ගැනීම සපුරා තහනම්, යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා ක්‍රියාකළහොත් එම ආයතනය හෝ පාර්ශ්වය ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවයි, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම නියෝග කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදුකළහොත් ළගම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානය, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණිලි කළ හැකි බව, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News