පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටියේ ඉදිවු ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට රජයේ රුපියල් මිලියන තිස් හතරකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවිණ.
ඉල්ලා සිටි ලේඛන සමහරක් මෙතෙක් ලැබි නොමැති බව විත්තිය විසින් කරුණු දක්වනු ලැබිණ. එ අනුව එම විභාග දිනය අවලංගු කර දෙසැම්බර් මස 4 වන දා නඩුව කැදවීමේ දිනයක් ලෙසට නියම කෙරිණ.
ප්‍රායෝගිකව ලබාදිය හැකි ලේඛන බොහොමයක් විත්තිය වෙත ලබාදීමට තමන් කටයුතු කර ඇති බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේය. ලේඛන කිහිපයක් පමණක් ලබාදීමට නියමිතව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. විත්තිය ඒට පිළිගත් අතර සෙසු ලේඛන ලැබෙන තුරු නඩු විභාගය කල් තබන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව දෙසැම්බර් මස 4 වන දා විත්තිය ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවිමට තිරණය විය.ඉන් අනතුරුව නඩු විභාගය සඳහා දින නියම කරන බවයි අධිකරණය සඳහන් කළේය.
නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර නම් කර තිබේ.
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.