ඩොලර් පැන්නීමට මුදල් ඇමතිගේ සහයක් නැහැ

නොවැ 27, 2018

    අමෙරිකානු ඩොලර් 53,455ක මුදලක් මෙරටින් පිට කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා නීති විරෝධීව රේගුවට බලපෑම් කරන ලදැයි, ප්‍රචාරය වන පුවත ප්‍රතික්ෂේප කරන බව, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවෙන් බැහැරට යන ඉරාන ජාතිකයෙකු සතුව තිබී අමෙරිකානු ඩොලර් 53,455ක මුදලක් රේගු නිලධාරීන් විසින් කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් අමත්‍යාංශය මෙලෙස කරුණු පැහැදිලි කර තිබේ.

    ඉරාන සමූහාණ්ඩු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඉරාන ජාතිකයන්, සිය මාසික වැටුප ඉරානයට ගෙන යන අවස්ථාවේදී, ගුවන්තොටුපොළ රේගුව අදාළ වැටලීම සිදු කර තිබුණි. අදාළ සේවකයින් මෙලෙස මුදල් යැවීම පිළිබඳ සානුකම්පිතව සළකා බලා මුදල් නිදහස් කරන්නැයි, ඉකුත් ඔක්තෝම්බර් 03 වැනි දින ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනූව, රේගු ආඥා පනතෙන් මුදල් විෂය බාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනූව, අදාළ ඉල්ලීම් පිළිබඳ සානුකම්පිතව සළකා බලා මුදල ආපසු බාර දෙන මෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කළේය. මුදල් අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකවේ සේවය කරන ඉරාන ජාතිකයන්, ඉරානයට මේ අයුරින් මුදල් රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන බවයි.

    මීට පෙර මෙලෙස විදේශ මුදල් ඉරානයට රැගෙන ගිය අවස්ථාවක දී ඉරාන ජාතික සේවකයෙකු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගැනුණි. එවකට, සිටි මුදල් අමාත්‍යවරයා ද ඉකුත් ජුනි මාසයේ දී මේ අයුරින් එම මුදල් සානුකම්පිත පදනම මත නිදහස් කෙරුණු බවයි, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 14:10

    Latest News