ජනතා ආණ්ඩුවක් ව්‍යවස්ථා කුමණ්ත්‍රණයකින් ඉවත් කිරිම, ලේ හැලීමකින් තොරව අවසන් කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්: අගමැති රනිල්

ඔක් 26, 2019

    ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් ව්‍යවස්ථා කුමණ්ත්‍රණයකින් ඉවත් කිරිමේ උත්සහය ලේ හැලීමකින් හෝ ජිවිත හානියකින් තොරව අවසන් කිරිමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    19 වෙනි සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමෙන් එම ජය ලැබීමට හැකි වු බව එම කුමන්ත්‍රණයට වසරක් සපිරෙන අවස්ථාවේ නිවේදනය නිකුත් කරමින් ඔහු කියා සිටි. 19 වෙනි සංශෝධනයෙන් නිදහස් සහ ස්වාධීන පරිසරය, ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් ස්ථාපිත කිරිමට හැකි වු බවත් එම නිවේදනයේ දැක්වේ.

    දේශපාලන මතය කුමක් වුවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්‍ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවන ලෙස වික්‍රමසිංහ මහතා සිය නිවේදනය මගින් ඉල්ලා සිටි. දිනා ගත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමටත්, ආරක්‍ෂා කිරීමටත් නිරන්තරයෙන්ම කැපවන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය – 2019.10.26

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ගරු කරන අප සැමට අද ඉතා වැදගත් දවසක්. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් මේ රටේ ව්‍යවස්ථා කුමණ්ත්‍රණයක් මගින් ඉවත් කර දැම්මේ අද වැනි දිනයක. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතිව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52 කට පසු ඒ කුමන්ත්‍රණය මැඬ පවත්වා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය රජකරවන්නට අපට හැකි වුණා.

    ඒ ව්‍යායාමයට දායක වූ සියළු ජන කොටස්වලට නැවතත් ස්තුතිය පළ කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ අප පුද්ගලිකව ලැබූ ජයක් නෙවෙයි. අපේ ආණ්ඩුව පමණක් ලැබූ ජයක් නෙවෙයි. කුමන්ත්‍රණය පරාජය කිරීමට එක් රොක් වූ ජනතාව පමණක් ලැබූ ජයක් නෙවෙයි. එයින් ජයගත්තේ මුළු මහත් ශ්‍රී ලංකාවමයි. කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව ඒ කටයුත්ත සිදු කර ගැනීමට හැකි වීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්.

    ඒ ජය ලබා ගැනීමට හැකි වුණේ 19 වෙනි සංශෝධනය හරහා අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ නිසයි. ඒ ඔස්සේ නිර්මාණය කළ නිදහස් සහ ස්වාධීන පරිසරය නිසයි. ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් 19 වන සංශෝධනය හරහා ශක්තිමත් කළ නිසයි. බලගතු කළ නිසයි. අප ඇති කළ ඒ පදනම මත අධිකරණයේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලත්වයත් තහවුරු වුණා. ඒ නිසා අභියාචනාධිකරණයටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් කිසිදු බාහිර බලපෑමකින් තොරව තීන්දු ලබා දීමේ පසුබිම උදාවී තිබුණා. අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා.

    පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා විවිධ තර්ජන ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කැපවුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්නට කිසිවෙකුට හැකිවුණේ නෑ. ඉතින් මේ තත්වය තවදුරටත් තහවුරු කිරීම සහ ආරක්‍ෂා කිරීම අප සැමගේම වගකීමයි. අප සැමගේම යුතුකමයි. අප එසේ කළ යුත්තේ පක්‍ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදී අප කල්පනා කළ යුත්තේ දේශපාලන පක්‍ෂ රැක ගැනීම ගැන නෙවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමයි. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ගැනයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ගැනයි.

    ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්‍ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවන ලෙසයි. අප දිනා ගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමටත්, ආරක්‍ෂා කිරීමටත් නිරන්තරයෙන්ම කැපවන ලෙසයි.

    ස්තුතියි.

     

     

     

    Latest News