මීරිගම-කුරුණෑගල කොටස ලබන මාර්තු ගමනා ගමනයට

ඔක් 26, 2019

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන මාර්තු මාසය වනවිට වාහන ගමනා ගමනයට විවෘත කෙරෙන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    කිලෝ මීටර 40 කින් යුත් එම කොටසේ ඉදිකිරීම් 85%ක් අවසන්. කඩවතදී කොළඹ පිටත වටරවුම මාර්ගයට සම්බන්ධ වන මධ්‍යම අධිවේගී මාර්ගය, එක් අන්තයක් මහනුවර-ගලගෙදර දක්වාත්, තවත් අන්තයක් දඹල්ල දක්වාත් දිවයනවා. ඉදිකිරීම් වැඩි ප්‍රමාණයක් අවසන් වී ඇත්තේ, මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවැනි අදියරේයි. ඊට ආයෝජනය රුපියල් බිලියන 160ක්. දේශීය බැංකුවලින් ලබාගන්නා ණය ඊට ප්‍රාග්ධනය ලෙස යොදා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි. ස්වයංක්‍රීය මුදල් අය කෙරෙන කවුලු සහිත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන මීරිගම, නාකලගමුව, දම්බොක්ක සහ කුරුණෑගල යන ස්ථානවල ඉදි කෙරේ.

    මාර්ගයේ දෙවැනි අදියර විශාල ප්‍රමාණයේ පාලම් 12කින් සහ බෝක්කු 130කින් සමන්විතයි. මංතීරු 4ක් සහිතව ඉදි කෙරෙන මාර්ගයේ කිලෝ මීටර 11කට ආසන්න ප්‍රමාණයක් ඉදිවන්නේ, කොංක්‍රීට් කුළුණු මතයි. පරිසර හිතකාමි ලෙස එය සැලසුම් කර ඇත්තේ, ජලගැලීම් වැනි තත්වයන් ඇති නොවන ලෙස හා ජනතාවගෙන් ලැබුණු අදහස් ද සැලකිල්ලට ගනිමින්. නාගරික ප්‍රදේශ මඟහරිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන්නේ ද එහි පාරිසරික සහ සමාජීය බලපෑම අවම කිරීම සඳහායි. දෙවැනි අදියර වාහන ගමනා ගමනයට විවෘත කිරීමෙන් පසු සෙසු කොටස් තුනෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    Latest News