හීලෑ අලි ඇතුන් කළමනාකරණයට නව නීති පද්ධතියක්

ඔක් 30, 2019

    හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් සහ නීති පද්ධතියක් සැකසීමට තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි යෝජනා වී තිබේ.

    අදාළ කෙටුම්පත කඩිනමින් සකස්කර කර අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැනි විවිධ කාර්යන්ට අලි ඇතුන් යොදා ගැනිම පිළිබඳව පල වන ප්‍රවෘත්ති ජාත්‍යන්තර වශයෙන් සහ බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට අහිතකර බවත් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුනි. තායිලන්තය වැනි වෙනත් රටවල් පනවා ඇති පරිදි දැඩි නීති හා රෙගුලාසි සහිතව මෙම ප්‍රතිපත්තිය හෝ නීතිය සම්පාදනය කළ යුතු බවට එහිදි යෝජනාවි ඇත.

    වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ 2015 ජුනි 22 වනදා 1920/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල නියමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කිරීමේදී මෙම කරුණ පිලිබඳ අවධාරණය කෙරිණි. වන අලි හා මානව ගැටුම් වැළැක්වීම සඳහා විදුලි වැට සවිකිරීම මෙන්ම, අප්‍රිකානු රටවල් ඇතුළු වෙනත් රටවල්වල භාවිතා වන ගැටුම් වැලැක්වීමේ ක්‍රියා පටිපාටි වැනි ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. වයඹ පළාතේ සහ වවුනියාවේ චෙඩ්ඩිකුලම් හි රිලවුන් නිසා මහජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳවත් අධීක්ෂණ කාරක සභාවේ අවධානයට ලක් විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චාල්ස් නිර්මලනාදන්, අරවින්ද් කුමාර් සහ සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් සහ සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වූහ.

    Latest News