ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීම සාකච්ජා කරනවා...අගමැති (වීඩියෝ)

නොවැ 02, 2019

    සංහිදියාව ඔස්සේ සංවර්ධනය කරා යන ගමන වේගවත් කරලීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) වව්නියා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    වව්නියාවේ තරුණ කාන්තා සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට ශක්තියක් හා කැපවීමක් ඇති එකම පක්ෂපය එක්සත් ජාතික පක්ෂය බවය.

    යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිසාව ද පවතින්නේ ඌණ සංවර්ධිතව බැවින් ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ලබාගැනීමට ක්‍රියා කරන බව ද අගමැතිවරයා පැවසීය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......

    "උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අපි ළඟදී විවෘත කළා. එමගින් උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක, හෝටල් සහ අනෙකුත් ක්ෂේත්‍ර සංවර්ධනය වෙනවා. ඒ හරහා උතුරේ විශාල ආයෝජනයක් සිදු වෙනවා. මෙමගින් උතුරේ ජනතාවට රැකියා අවස්ථා රැසක් ඇති වන බව කිව යුතුයි.  තවද මන්නාරම, පුනරීන් සහ වඩමරාච්චි යන ප්‍රදේශවල අපි අලූතෙන් ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නිලාවෙලි සිට උතුරු පළාත දක්වා තිබෙන මුහුදු වෙරළ අපි සංවර්ධනය කරනවා. මේ සියල්ල සිදු වනවිට වව්නියාව එම සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව සඳහන් කරන්න කැමැතියි. තවද අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මෙම සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ උතුර සහ නැගෙනහිර ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමටයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ වව්නියාව සංවිධායිකා ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, ව්‍යපාරිකයින්, තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

    ව්‍යාපාරිකයන්ගේ ගැටලු අග්‍රාමාත්‍යවරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර, රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 20:21

    Latest News