ජනාධිපති ගෝඨාභයට අමරපුර මහා නිකායේ මහ නාහිමියන්ගෙන් ආශිර්වාද (වීඩියෝ)

නොවැ 23, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    ඒ උන්වහන්සේ වැඩවෙසෙන ගල්කිස්ස ධර්මපාලාරාම⁣ට ඊයේ(22) පැමිණීමෙන් අනතුරුවයි. ජනාධිපතිතුමා කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදැකීමට එම විහාරස්ථානට පැමිණියේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු ප්‍රථම වතාවටයි. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා අමරපුර මහා නිකායේ ආරක්ෂක සභාවේ උප සභාපති ධුරයක් ද දරයි. එහි පැමිණි ජනාධිපතිතුමා වෙත මහ නාහිමියන් විසින් අනුශාසනාවක් පවත්වනු ලැබිණි.

    කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ප්‍රකාශ කළේ රට දැනට මුහුණ පා සිටින තත්ත්වයෙන් මුදා ගැනීමට ජනාධිපතිතුමන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන බවයි. බාධක මැඩගෙන භාරධූර කාර්යයක් ඉටු කිරීමට නව ජනාධිපතිවරයාට සිදුව ඇති බව ද උන්වහන්සේ සඳහන් කළේය.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ...

    “අපේ රටේ භාෂාව, ධර්මය, ශාස්ත්‍රය දියුණු කර ගැනීම, ඒ වගේම අපරාධ අද කටටත් උඩින් ගිහින්. හිටපු රජයවල් ඒවා වලක්වා ගන්න වෑයම් කලාට සාර්ථක කරගන්න බැරිවුනා. අන්න ඒක මොකක් හරි ප්‍රශ්නයක් ඇති එක බලන්න. ඒ වගේම අවංක හොඳ නිලධාරීන් ඉන්නවා තාම, ඒ අයගේ සහයෝගය ලබාගෙන මේ රටේ සම්බුද්ධ ශාසනයත්, ජනතාවත් ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඒ කාට උනත් අපේ විශේෂ අමුත්තක් නැහැ. ඒ සහෝදරත්වය ඇති කරගෙන රට ධාර්මික රජයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා”

    ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මහනාහිමියන් විසින් සිහිවටනයක්ද ප්‍රදානය කරනු ලැබිණි. අමරපුර මහ නිකායේ ගරුතර මහා සංඝරත්නය විහාරස්ථානයේ දායක සභාව ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News