කාළගුණයේ රතු නිවේදනය තවදුරටත්: නාය හා ගංවතුර අවධානම තවදුරටත්

දෙසැ 05, 2019

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාවට නංවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, බදුල්ල, නුවර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කෙරුණු නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශය සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

    අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. අප වාර්තාකරුවන් පවසන්නේ, වාන් දොරටු විවෘත කර වැසි ජලය බැසයාමට ජලාශ භාර නිලධාරීන් විසින් පියවර ගෙන ඇති බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 16ක් ද අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් ද විවෘත කර තිබේ. තිසා වැව, අභය වැව හා මහවිලච්චිය වැව් වාන් දමමින් පවතී. නාච්චාදූව හා යාන්ඔය ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිනිමිටිය හා තබ්බෝව ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිඹුල්වාන ඔය ජලාශය, අඹකොළවැව, දැදුරු ඔයෙහි වාන් දොරටු 02 බැගින් විවෘත කර තිබේ. බතලගොඩ වැව ද වාන් දමමින් පවතී.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මුරුතවෙල, වෙහෙරගල, මව්ආර ජලාශවල ද වාන් දොරටු විවෘත කර තිබේ. මොණරාගල අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් විවෘත කර තිබේ. මාතලේ වෑමඩිල්ල හා නාලන්දා ජලාශ ද වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නාය අවදානම හේතුවෙන් බදුල්ල, පස්සර මාර්ගය තවදුරටත් වසා දමා තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් සහ රැකියා සඳහා පිටත්ව යන ජනතාව වෙනුවෙන් පොලිසිය විකල්ප මාර්ග ආශ්‍රිතව වාහන යොදවා ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවයි.

    උඩරට දුම්රිය මාර්ගයට, දියතලාව-බණ්ඩාරවෙල අතර පිහිටි ඇල්ලහේන ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන්, දුම්රිය ගමනා ගමනය මුළුමනින්ම අඩාල වී තිබේ. මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාව දුම්රිය ස්ථානයට පමණක් සීමාකර ඇති බව අප වාර්තාකරු පවසයි. අද කොළඹින් බදුල්ල දක්වා ධාවනය වුණු දෙනුවර මැණිකේ දුම්රියෙන් සහ පොඩි මැණිකේ දුම්රියෙන් පැමිණි මගීන්ට දියතලාව දුම්රිය ස්ථානයේදී බස් මගින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය. දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වන බව බලධාරීන් පවසයි.

    යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශයන් සඳහා මිලිමීටර 75ත්-100ත් අතර, තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 19:23

    Latest News