හැරිසන්ගේ වැරදි නිවැරදි නොවුනොත් බිත්තරයේ මිල ඉහළට: නිෂ්පාදකයින්ගෙන් අනතුරු ඇඟවිමක්

දෙසැ 29, 2019

    පසුගිය රජයේ පශු සම්පත් විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයකට පත්වු බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

    සමස්ත ලකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (28) කුලියාපිටියේ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව කියා සිටියේය. එම තත්වය හෙට (30) වන විටත් නිරාකරණය කරවා ගැනීමට නොහැකි වුවහොත් බිත්තර ගෙඩියක විකුණුම් මිලද ඉහළ දැමීමට සිදුවන බවට සංගමය අනතුරු ඇඟවීය.

    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා.......

    අපේ බොහෝ ගොවියෝ තමන්ගේ සත්ව ආහාර නිෂ්පාදන තමන් විසින්ම කරගෙන තමයි මේ ව්‍යාපාරය සිදු කරන්නේ. ඒ සඳහා අත්‍යාවශ්‍යම සාධකය වන්නේ බඩ ඉරිඟු. බඩ ඉරිඟු කිලෝවක් රුපියල් 55 කට දෙන්න පුළුවන් වුණත් ඉරිඟු ගෙන්වන්න හැරිසන් හිටපු ඇමතිවරයාගේ හිතවතුන් තිදෙනෙකුට දුන්නා. ඒ නිසා ඔවුන් ඒකාධිකාරියක් පවත්වාගෙන යනවා. එකෙන් අපේ ගොවියන්ට කිලෝවක් රුපියල් 85 සීමාවෙන් මිලට ගන්න සිදුවෙලා. ඒ ආනයනය අපේ සංගමයට බාර කළොත් අපිට පරණ මිල වුණ රුපියල් 55 සීමාවෙන් දෙන්න පුලුවන්. එහෙම ගේන්න දෙනවා නම් අපේ ගොවියෝ ගාව මුදලුත් තියෙනවා ගෙන්නන්න.

    මේ වනවිට අපේ බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 15ක් හා ශත අසූපහක් වෙනවා. අපිට විකුණන්න වෙලා තියෙන්නේ රුපියල් 17 සීමාවට. ඒ විදියට දිගින් දිගට කරන්න අපහසුයි. කුකුලු ආහාරවලින් 80%ක් පමණ පිරිමහගන්නේ ඉරිඟුවලින්. ඒ මිල පහත දාගන්න පුලුවන්නම් දැයට පෝෂණය දායාද කරණ පිරිසක් විදිහට අපි තවත් බිත්තරයක මිල පහත දාන්න පුලුවන් ද යන්න සාකච්ජා කළ හැකියි. නමුත් එය එසේ නොවුණහොත් බිත්තරයක මිල ඉහළයාම නවතාලිය නොහැකියි යැයි ඔහු කියා සිටියේය.

    වරාය පර්යන්තයේ ඉරිඟු බහාලුම් 3ක් සඟවා ඇති බවත් ආනයනයට අවසර දුන් පිරිස අද හෝ අනිද්දා (31) දිවයින පුරා අලෙවියට සූදානම් බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙහිදි පෙන්වා දුනී. ඉරිඟු ආනයනය තම සංගමයට හෝ සෘජුව රජය මැදිහත්වීමෙන් හෝ ආනයනය කර පහසුමිලට ගොවියාට ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. එයින් පාරිභෝගිකයාගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍යවන බිත්තර පහසු මිලට සැපයීමට ගොවීන්ට හැකිවනු ඇතැයි ද පැවසීය.

     

    Latest News