IPL; චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 23ක ජයක්...

අප්‍රේ 13, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය වාර්තා කළා.

    ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, මුම්බායිහිදී. කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 216ක්. ආරම්භක පිතිකරු රොබින් උත්තාපා පන්දු 50කදී ලකුණු 88ක් රැස්කළේ, 4 පහර 4ක් සහ 6 පහර 9ක් සමගයි. ශිවාන් ඩුබ් නොදැවී ලකුණු 95යි. පන්දු 46කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 8ක් ඇතුළත්. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 02ක් දවාගත්තා.

    පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 193ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ ශබාස් අහමඩ් ලකුණු 41යි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මහීෂ් තීක්ෂණ පන්දුවාර 4කදී ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලුවා. තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 23කින්.

    මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමයි. එහි දෙවැනි ස්ථානය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හිමිකරගෙන තිබෙනවා.

    Latest News