ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක; WHO

ජූනි 22, 2021

    කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් 92ක ව්‍යාප්තවී ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ඒ සමඟ අඛණ්ඩව සති 8ක කාලයක් පැවති ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහත වැටීමේ ප්‍රවණතාව මන්දගාමී වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේෂස් පවසන්නේ, ලොව බොහෝ කලාපවල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහත වැටීමේ වේගය මන්දගාමී බවට පත්වෙමින් සෑම කලාපයකම රටවල රෝගීන් හා කොරෝනා මරණ සංඛ්‍යාවෙහි ශීඝ්‍ර ඉහළයාමක් දක්නට ලැබෙන බවයි.

    ඉකුත් සතියේ අප්‍රිකාවේ කොවිඩ් ආසාදන සහ මරණ සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් ඇති බව, ඔහු පෙන්වා දෙයි. ඇතැම් රටවල කොවිඩ් මරණ සංඛ්‍යාව අද වනවිට තුන් ගුණයකින් හෝ සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසයි.

    ඩෙල්ටා ප්‍රභේදයෙහි බරපතල භාවය හා මාරාන්තික බව, පිළිබඳ නිශ්චිත දත්ත මෙතෙක් නොමැති වුවද, කොවිඩ් එන්නත්කරණය, රෝගයේ දරුණු අවස්ථා සහ මාරාන්තික අවස්ථා වැළැක්වීමට උපකාරිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    Latest News