කොරෝනා 03 වන මාත්‍රාව අත්හිටුවන්න - WHO

අගෝ 05, 2021

    එලඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් හෝ කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කරනවා.

    එහි ප්‍රධනී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසන්නේ ඒ හරහා සෑම රටකටම සිය ජනගහනයෙන් සියයට 10 ක හෝ ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නත ලබාදිය හැකි වනු ඇති බවයි.

    අඩු ආදායම් ලාභී රටවලට එන්නත් බෙදී යාමේ දුර්වලතාවක් පවතින බැවින් මේවනවිට අතිරික්තව පවතින කොරෝනා එන්නත් මාත්‍රා එවැනි අඩු ආදායම් සහිත රටවලට බෙදී යා යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ.

    ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ සිය වැසියන් ආරක්ෂා කර ගැනීමට සියලු රටවල් සැලකිල්ල යොමු කර ඇති බව තමන්ට අවබෝධකර ගත හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. නමුත් දැනටමත් එන්නත් මාත්‍රා බොහෝ ප්‍රමාණයක් භාවිත කර ඇති රටවල් තවදුරටත් එලෙස වැඩි මාත්‍රා ප්‍රමාණයක් භාවිත කිරීම පිළිගත නොහැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.

    ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග සිය වැසියන්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීමට මේවනවිටත් රටවල් කිහිපයක් අවධානය යොමු කර තිබෙනවා. ඒ අතරට අමෙරිකාව, ජර්මනිය හා චීනය ද අයත්. සිය රටවැසියන්ට 03 වන මාත්‍රාව ලබාදීම ඉකුත් ඉරිදා ආරම්භ කරන බව ඊශ්‍රායලය මීට පෙර ප්‍රකාශ කළා.

    Latest News