යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරයට, මිසයිල ප්‍රහාර...

මාර් 01, 2022

    රුසියානු ගුවන් ප්‍රහාර වැළැක්වීම සඳහා යුක්‍රේනයට ගුවන් තහනම් කලාපයක් පනවන ලෙසට එරට ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.

    එහෙත්, එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා තමන් සූදානම් නැති බව අමෙරිකාව, යුක්‍රේනයට දැනුම් දුන්නා. ඊයේ පැවති සාම සාකච්ජා ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමත් සමඟ යුද්ධය වඩාත් දරුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.

    යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාර්කිව්හි මධ්‍යම කොටසේ පිහිටි නිදහසසේ චතුරශ්‍රය වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රදේශයට දැඩි හානි සිදුවූ බවයි වාර්තා වන්නේ. යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ, රුසියාව කාර්කිව්හි සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දැඩි කර ඇති බවයි.

    මෙය යුද අපරාධයක් බව ද ඔහු ප්‍රකාශ කරනවා. කීව් අගනුවර ඉතිරිව සිටින සාමාන්‍ය වැසියන් තම ආරක්‍ෂාව ගැන දැඩි ලෙස බියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන අගනුවර අල්ලා ගැනීම සඳහා ඉදිරියට ඇදෙන රුසියානු සන්නද්ධ රථ පෙළ තවදුරටත් දීර්ඝ වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඊයේ සැතපුම් 17ක් දිගට විහිදී තිබූ එම සන්නද්ධ රථ පෙල අද වනවිට සැතපුම් 40කට වැඩි දිගකින් යුක්ත වූ බව වාර්තා වනවා. ඉකුත් සිකුරාදා සිට රුසියානුවන් කීවු අගනුවර අත්පත් කරගැනීම සඳහා සටන් කළ ද මේ දක්වා සාර්ථක වී නැහැ. යුක්‍රේන-බෙලරුස් දේශසීමාවේ පැවති සාම සාකච්ජා ඊයේ අවසන් වූයේ රුසියානු හා යුක්‍රේන නියෝජිතයන් තම රටවල ස්ථාවරය එකිනෙකාට පැහැදිලි කර දී තවත් සාකච්ජා සඳහා යොමුවීමට එකඟතාව පළ කරමින්.

    එහෙත්, යුද්ධය නැවැත්වීමේ කිසිදු පියවරක් අනුගමනය කෙරුණේ නැහැ. සාකච්ජා අවසන් වූ වහාම රුසියානුවන් කීවු අගනුවරට එල්ල කරන ප්‍රහාර වැඩි වූ බව යුක්‍රේන රජය පවසනවා. බටහිර රටවල් අවි ආයුධ හා ආධාර ලබාදී ඇතත්, තවමත් රුසියානුවන්ට තනිවම මුහුණදීමට සිදුව ඇත්තේ තමන්ට බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරනවා.

    රුසියානුවන්ගේ ඉදිරි ගමන බටහිර ඔත්තු සේවා චන්ද්‍රිකා ජායාරූප මගින් නිරීක්‍ෂණය කළ ද, එය වැළැක්වීමට කිසිදු රටක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි, යුක්‍රේන ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත්, යුරෝපා සමුළුවකදී එම කලාපීය නායකයන් යුක්‍රේන ජනතාවගේ නිර්භීතභාවය ගැන ප්‍රශංසා කර තිබෙනවා. රුසියාව එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්‍රේන සෙබලුන් 70 දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත්වුණා. ඒ, ප්‍රධාන නගර දෙක වන කීවු හා කාර්කිව් අතර ප්‍රදේශයක දී.

    මේ වනවිට උතුරු, නැගෙනහිර හා දකුණු යුක්‍රේන ප්‍රදේශවල තමන් අත්පත් කරගෙන ඇති කලාප තවදුරටත් පුළුල් කර ගැනීමටයි රුසියානුවන් උත්සහ දරන්නේ. රුසියාවට සහය පිණිස ආක්‍රමණයට එක්වන බව බෙලරුස් රජය ඊයේ ප්‍රකාශ කලා. එහෙත්, එම ස්ථාවරය වෙනස් කරමින්, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අද ප්‍රකාශ කර ඇත්තේ, තම හමුදා යුක්‍රේන සටනට එක් නොවන බවයි.

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණිය සීරුවෙන් තැබීමට ගත් තීරණය සම්බන්ධයෙන් බටහිර රටවල දැඩි අවධානය යොමුව තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, අමෙරිකානු කොංග්‍රසයේ උභය මන්ත්‍රී මණ්ඩලය අමතා සිදුකරන වාර්ෂික දේශනයේදී ද මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි සැලකෙනවා.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසර 40කට පසු මුල්වරට විශේෂ සැසිවාරයක් සඳහා ඊයේ රැස් වුණා. යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් සැසිවාරය පැවැත්වුණා. එහිදී බටහිර හා යුක්‍රේනය රුසියාවේ ආක්‍රමණශීලි පිළිවෙත තරයේ හෙළා දැක්කා. මෙහිදී සමුළුව ඇමතූ රුසියානු නියෝජිතයා කියා සිටියේ, යුක්‍රේනය අත්පත් කර ගැනීමට රුසියාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

    වත්මන් යුද මෙහෙයුමේ අරමුණ යුක්‍රේන රජය එරට වෙසෙන රුසියානු සම්භවයක් සහිත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම් වැළැක්වීම හා ඔවුන් සම්බන්ධයෙන් යුක්‍රේන අනුගමනය කරන සමූල ඝාතන ප්‍රතිපත්තිය වෙනස් කිරීම බවයි රුසියානු තානාපතිවරයා කියා සිටියා.

    මේ අතර, රුසියාවට එරෙහිව යුක්‍රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බව අන්තර් ජාතික අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා අද කියා සිටියා. යුරෝපා සංගමය අද තවත් රුසියානුවන් 26 දෙනෙකුට සම්බාධක පැනවුවා. ඒ අනුව, රුසියානු ජාතිකයන් 680 දෙනෙකුට එරෙහිව යුරෝපා සම්බාධක ක්‍රියාත්මක වනවා. සම්බාධක නිසා රුසියානු විදේශ ඇමති සර්ගේ ලව්රෝව්ට ස්විට්සර්ලන්තයේ පැවති නිරායුධකරණ සමුළුවට සහභාගිවීමට අවසර ලැබුනේ නැහැ.

    ඒ වෙනුවට ඔහු සමුළුවට විඩියෝ පණිවුඩයක් යොමු කළා. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එහි ක්‍රියාත්මක රුසියානු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සියලුම පිටු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ට්විටර් හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාලාද රුසියානුවන් ඉවත් කිරීමේ යෙදී සිටිනවා. මියගිය සංඛ්‍යා පිලිබඳව තවමත් පවතින්නේ පරස්පර තත්වයක්.

    යුක්‍රේන රජයේ සංඛ්‍යා ලේඛණවලට අනුව ළමුන් 14 දෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් 350 කට අධික පිරිසක් රුසියානු ප්‍රහාරවලින් මියගොස් ඇති බවත්, රුසියානු සෙබලුන් 5,400 ක් මියගොස් ඇති බවත් යුක්‍රේන රජය නිවේදනය කළා. රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත් දැඩි වනවා. රුසියානු බැංකු අන්තර්ජාතික මුල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීමේ පියවරත් සමග එරට සාමාන්‍ය වැසියන්ට වීසා හා මාස්ටර් කාඩ් මගින් ගණුදෙනු කිරීමට නොහැකි වී තිබෙනවා.

    මොස්කව් ඇතුලු ප්‍රධාන නගරවල බැංකු ආසන්නයේ රැස්වූ ජනකා තම තැන්පතු මුදල් අමෙරිකානු ඩොලර්වලින් ලබාගැනීමේ උත්සහයක යෙදී සිටිනවා. රුසියානු ප්‍රහාරවලින් බිඳවැටුනු යුක්‍රේන අන්තර්ජල පද්ධතිය පිළිසකර කිරීමට කෝටිපති වයාපාරික එලන් මස්ක්ගේ "ස්පේස් එක්ස්" සමාගම ඉදිරිපත් වුණා.

    අදාළ උපකරණ දැනටමත් යුක්‍රේනයට ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ. ඩිස්නි හා සෝනි සිනමා සමාගම් තම චිත්‍රපට රුසියානු සිනමාහල් සඳහා නිකුත් කිරීම අද තහනම් කළා. ඒ අනුව, රුසියානුවන්ට තවදුරටත් සිනමාහල්වලදී හොලිවුඩ් චිත්‍රපට නැරඹීමේ ඉඩ ඇහිරෙනවා. මේ අතර, අන්තර්ජාතික පාපන්දු ෆෙඩරේෂණය හා යුරෝපා පාපන්දු ෆෙඩරේෂණය රුසියාවේ ක්‍රීඩා කටයුතු තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 18:52

    Latest News