එය පිහිටා ඇත්තේ යුක්‍රේනයේ කීව් අගනුවරට කිලෝ මීටර් 550ක් ගිනිකොන දෙසින් පිහිටි ප්‍රදේශයකයි. රුසියානු හමුදාවේ වගකීම් විරහිත ප්‍රහාරය නිසා මහා න්‍යෂ්ටික ව්‍යසනයක් සිදුවීමට ඉඩකඩ තිබූ බවට, බටහිර රටවල් චෝදනා කරනවා. අද යුක්‍රේන යුද බිමෙන් වාර්තා වූ පුවත් අතර වැඩි අවධානයක් යොමු වූයේ, රුසියාව සාපොරිසේසියා න්‍යස්ටික බලාගාරය අත්පත්කර ගැනීම පිළිබඳවයි.
ඒ ආශ්‍රිතව සිදුවූ සටනින් පසු බලාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇති කිරීම සම්බන්ධයෙන් රුසියානුවන් හා යුක්‍රේනියානුවන් එකිනෙකාට චෝදනා කරගන්නවා. කෙසේ වෙතත් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා බලාගාරය ආරක්‍ෂිත තත්වයට ගෙන ආ බව, රුසියානු හමුදාව පවසනවා. බලාගාරය මෙගාවොට් 6000ක ධාරිතාවකින් යුක්තයි. මෙය න්‍යෂ්ටික ත්‍රස්තවාදයක් බවටත්, අනතුරක් සිදුවූයේ නම් එය 1986 චර්නෝබිල් න්‍යෂ්ටික අනතුර මෙන් 6 ගුණයකින් ප්‍රබල වනු ඇති බවත්, යුක්‍රේන ජනාධිපති ව්ලොදෙමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා.
මේ වනවිට වඩාත්ම දරුණු සටන පවතින්නේ දකුණු දිග වරාය ආශ්‍රිතවයි. සාමාන්‍ය වැසියන් පිරිසක් දෙපාර්ශවය අතර සටනකට කොටුවී සිටින බව ද වාර්තා වනවා. මරියුපෝල් අල්ලා ගතහොත් සමස්ත දකුණු දිග මුහුද වෙරළ තීරය පාලනය කිරීමටත්, යුක්‍රේන හමුදාවට මුහුද ඔස්සේ ලැබෙන සියලු සැපයුම් කපා හැරීමටත්, රුසියාවට ඉඩකඩ ලැබෙනවා. රුසියානු ගුවන් ප්‍රහාරවලින් උතුරු දිග යුක්‍රේනයේ චෙර්නිහිව් නගරයේ සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු මියගිය බව යුක්‍රේන රජය ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් එරට රූපවාහිනී සේවාවක් ඔස්සේ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ, අසල්වැසි රටවලට බලපෑම් කිරීමට රුසියාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ නිසා සබඳතා අයහපත් අතට හැරෙන ක්‍රියාකාරකම්වලින් වැලකී සිටින්නැයි, රුසියානු ජනාධිපතිවරයා අසල්වැසි රටවලින් ඉල්ලීමක් කරනවා.
රුසියානු ෆෙඩරේෂනයට සතුරු ස්ථාවරයකින් යුක්‍රේනය ගත් ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස වත්මන් යුද්ධය හැඳින්විය හැකි බව, ජනාධිපති පුටින් සඳහන් කරනවා. මේ අතර යුක්‍රේන ජනාධිපති විලොදොමීර් සෙලෙන්සි කියා සිටින්නේ, තමා රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණලා සාකච්ජාවකට සූදානම් බවයි. වත්මන් විනාශය වැළැක්වීම සඳහා කඩිනමින් සාකච්ජා ආරම්භ කළ යුතු බව ඔහු පවසනවා. ඒ අතරම රුසියාවට පහරදීම සඳහා තමාට ප්‍රහාරක ජෙට් යානා ලබාදෙන්නැයි ද ඔහු බටහිර රටවලින් ඉල්ලීමක් කළා.
නැගෙනහිර යුරෝයේ ඉතා දරුණු මානව ඛේදවාචකයක් නිර්මාණය වී ඇතැයි, අන්තර්ජාතික රතුකුරුස කමිටුව අනතුරු අඟවනවා. සරණාගත ප්‍රශ්නය මෙන්ම යුක්‍රේන යුද්ධයෙන් තුවාල ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම ද මීට හේතුව බවයි, රතුකුරුස කමිටුව ප්‍රකාශ කරන්නේ. මේ වනවිට දස ලක්‍ෂයකට අධික යුක්‍රේන ජාතිකයන් රටින් පළාගොස් ඇති අතර තවත් ලක්‍ෂ 30ක් පමණ දේශසීමා ප්‍රදේශයට ළඟාවෙමින් පවතින බවයි, වාර්තා වන්නේ. යුක්‍රේන ජාතිකයන් රැගත් දුම්රියක් ජර්මනිය වෙත ළඟාවීමත් සමඟ බර්ලින් වැසියන් ඉතා උණුසුම් අන්දමින් ඔවුන් පිළිගත්තා.