යුක්‍රේනයේ "ලිවිව්" ගුවන් තොටුපළට ප්‍රහාරයක්...

මාර් 18, 2022

    යුක්‍රේනයේ "ලිවිව්" ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    කියෙව් නගරයෙන් ජනතාව ඉවත්කර ගැනීමේ මෙහෙයුම් වේගවත්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය හතර වන සතියට එළඹෙද්දී ගැටුම්වලින් සිවිල් වැසියන් 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.  කුඩා ළමුන් විශාල පිරිසක් ද ඒ අතර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    යුක්‍රේනයේ "ලිවිච්" ගුවන්තොටුපොළට ප්‍රහාරය එල්ල වීමත් සමග විශාල දුමාරයක් පිටවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මරියුපෝල් ඇතුලු සෙසු යුක්‍රේන නගරවලින් පුද්ගලයන් 3,800 කට අධික පිරිසක් ඊයේ පලාගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පස්වන වරටත් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී රුසියානු රජයද විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. යුක්‍රේනයේ සිවිල් ජනතාවට ආරක්ෂාව සහ ආධාර සැපයීමට ද මෙම හමුවේදී එකගත්වය පළ වුණා.

    මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව යුධ අපරාධ සිදුකරමින් සිටින බවයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකථනයෙන් සාකච්ඡා කිරීමටද සැළසුම් කර තිබෙනවා. චිනය රුසියාවට සහාය දැක්වීමට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

    මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව රුසියාව යුක්‍රේනයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා සපයන ස්ථාන 43 කට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අතර ලොව රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවමින් සිටිනවා. ජපානය ද රුසියානු රාජ්‍ය නිලධාරින් පිරිසට සහ සංවිධාන කිහිපයකට සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව රුසියානු ජාතිකයන් 15 දෙනෙකුට සහ එරට සංවිධාන 09කට අයත් වත්කම් තහනම් කරන බවයි, ජපන් රජය නිවේදනය කළේ. ඔස්ට්‍රෙිලියාවද රුසියානු බිලියනපතියන් දෙදෙනෙකු සහ බැංකු 11 කට සම්බාධක පනවා තිබෙනවා.

    Latest News