මෙම මාරාන්තික ගුවන් අනතුරින් මගී ගුවන් යානයේ කළුපෙට්ටිය විමර්ශකයින් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වු අමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානය ඊයේ රාත්‍රියේ කැන්සාස් හි විචිටා නගරයේ සිට මගීන් 60 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සමග වොෂින්ටන් නුවර බලා පියාසර කෙරුණා.
මගී ගුවන් යානය රොනල්ඩ් රේගන් ගුවන්තොටුපලට ගොඩබැස්වීමට සුළු මොහොතකට පෙර අමෙරිකානු හමුදාවට අයත් බැක්හොක් හමුදා හෙළිකොප්ටර් යානයේ උඩුගුවනේදි ගැටී අනතුරට පත්වුණා.
අනතුරට පත් හමුදා හෙලිකොප්ටර් යානය තුළ හමුදා සාමාජිකයින් තිදෙනෙකුද ගමන් කරමින් සිටි බව වාර්තා වනවා.
එකිනෙක ගැටීමෙන් පසු යානා දෙකම පොටෝමැක් ගංගාවට කඩා වැටුණා.
200කට අධික පොලිස් කිමිදුම්කරුවන් සහ බෝට්ටු මගින් සිදුකළ මෙහෙයුම්වලදි මියගිය පිරිස 30 දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනීමට හැකිවි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මගී ගුවන් යානයට අයත් කළුපෙට්ටිය සොයාගෙන ඇති අතර එහි පියාසර දත්ත රෙකෝඩරය නියමු කුටියේ හඬ පටිගත කිරීම් මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
යානයේ සුන්බුන් තවමත් පොටෝමැක් ගංගාවේ පවතින අතර පවතින අධික සීතල නිසා කිමිදුම්කරුවන්ට තවදුරටත් මෙහෙයුම් සිදුකිරීම අසීරුවී ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් ගංගාවේ කඩාවැටුණු යානාවේ සුන්බුන් ඉවත් කළ පසු මගීන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව අමෙරිකානු බලධාරින් ප්‍රකාශ කරනවා.
ඊයේ සිදුවු මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත්, මියගිය පවුල්වල සාමාජිකයින් හමුවීමට තමන් බලාපොරොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.