ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත්වෙයි

දෙසැ 31, 2024

    පසුගියදා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව, ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

    ඒ විභාගයට පෙනී සිටී සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් අද විභාග කිරීමෙන් අනතුරුවයි.

    අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල‍ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.

    මෙම ගැටලුව නිරාකරණය සඳහා විශේෂඥයින් ඉදි‍රිපත් කර තිබෙන නිර්දේශ තුන අතරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.

    ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් වන අයි ජී එස් ප්‍රේමතිලක යන අය රුපියල් ලක්ෂ 30 ක් සහ චමින්ද කුමාර ඉලගසිංහ යන අය රුපියල් ලක්ෂ 20 ක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණා.

    පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ, 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබා දීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදු වන බවයි.

    ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2024 11:41

    Latest News