හෙරොයින් ළඟ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ඔක් 28, 2024
    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
    2016 වසරේ නොවැම්බර් මස 8 වනදා බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය පිටුපස මාර්ගයේ සිදුකළ සෝදිසියකදී හෙරොයින් මත්කුඩු සමග මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
    ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා.
    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.
    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුව කරුණු දක්වමින් සිය සේවාදායකයාට මාසයක් වයසැති දරුවකු සිටින බවත් ඔහුට පෙර වැරදි නොමැති බවත් සඳහන් කර සිටියා.
    එබැවින් ඔහුට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
     

    Latest News