මිග් ගනුදෙනුවට විදේශිකයන් 02කට වරෙන්තුවක්

දෙසැ 07, 2018

    මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හැකි වරදක් සිදු කර ඇති සැකකරුවන් දෙ‍දෙනෙකු වන සිංගප්පූරුවේ පිහිටි බෙරිමිසා සමාගමේ අධ්‍යක්ෂවරුන් වු පී. එස්. ලී  සහ එන්. ජී. ලේක්හිම් යන දෙදෙනාට වරෙන්තුවක් නිකුත් කිරිමට නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමේ  නියෝගය ලබන 12 වනදා ලබා දීමට නියමිතයි.


    මිග් යානා ගිවිසුම අත්සන් කළ යුක්රේනයේ, ගුවන් යානා මිලදී ගත් යුක්රේන් මාෂ් සමාගමේ අධයක්ෂක පෙරිගොඩව්ගේ නීතිඥවරයා මගින් ලිපියක්  අධිකරණයට යොමු කර ඇත. එම ලිපිය මුල් නඩු ගොනුවට ඇතුලත් කරන බව, මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන් අතර එම ලිපියේ සහතික පිටපතක් කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ ලිපිනයට නොතිසියක් යොමු කිරිම එහි අරමුණ බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණූ දැක්වූ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය.

    බෙරිමිසා සමාගමේ අධ්‍යක්ෂ වරුන් වන පී එස් ලී, එන් ජී ලේක්හිම්ට ලබන ඔක්තෝබර් 15 දින හෝ ඊට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ප්‍රකාශයක් ලබාදීමට නොතිසියක් ලියාපදිංචි තැපෑලෙන් යැවිමට නිකුත් කළ අධිකරණ නියෝගයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව උදාර කරුණාතිලක මහතා කියා සිටියේය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට වරෙන්තුවක් නිකුත් කිරීමට කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නඩුවක් පවරා ඇති බවත් එම නඩුව ලබන 10 වනදා විභාගයට ගැනිමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    සිද්ධියට අදාළව මුදල් සංසරණය වී ඇති ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ අධිනිතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට දන්වා සිටියේය.

    විමර්ශන ප්‍රගතිය ලබන  12  වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 08:16

    Latest News