යහපාලනයෙන් ජීවය ලද ඉරණමඩු ජන අයිතියට (වීඩියෝ)

දෙසැ 07, 2018
  • ප්‍රතිසංස්කරණයෙන් පසු පළමුවරට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය අද(07) වාන් දැමූ අතර ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    ඉරණමඩු ජලාශය අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විතය. මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවැනි පියවර වශයෙන් උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 2178 ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගෙන තිබුණි. 

    ප්‍රතිසංස්කරණය කිරීමට පෙර මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද සමයේ සිදු වූ හානි හේතුවෙන් ජලාශයේ වැව් බැම්ම හා වාන් දැඩි ලෙස අබලන් තත්ත්වයක පැවතිණි.

    පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව තිබූ අතර එය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ඒ බව ජනාධිපතිතුමන්ට දන්වා අද (07) ඉරණමඩු ජලාශය විවෘත කිරීමට පියවර ගන්නා ලදී.‍

    මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා, හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, සරත් අමුණුගම, එස්. බී. නාවින්න, අංගජනා රාමනාදන් යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද ආරක්ෂක අංශ සාමාජිකයෝ ද කිලිනොච්චිවාසීහු ද සහභාගී වූහ.

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 09:28

    Latest News