සියලු ආගම්වල ජනතාව එකා මෙන් රට ගොඩනැගීමේ මහා ව්‍යාපෘතියට දායක වනුඇති..අගමැති

පෙබ 04, 2020

    නිදහස ලබා ගැනීමත් ඒ නිදහස රැක ගැනීමත් යනු වෙන්වෙන්ව ගත යුතු කරුණු දෙකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    72 වැනි නිදහස් දිනය වෙනුවෙන් නිදහස් දින පණිවුඩයක් එක්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 1948 පෙබරවාරි 04 වැනිදා අප ලැබූ ඒ නිදහස බරපතල ආකාරයකට අභියෝගයට ලක්වූ සමයක් අපි පසුගිය වසර කිහිපයේ දී අත් දුටුවා. 1948 දී නීතිමය වශයෙන් ලැබූ නිදහස 2015 දී වැරදි දේශපාලනය තුළින් නැතිවීමේ අවදානමකට අපි මුහුණ දුන්නා. පසුගිය නොවැම්බර් මාසයේ පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් අපට පෙනුනේ ලැබූ නිදහස රැක ගැනීමට ජනතාව තුළ ඇති අධිෂ්ඨානයයි.

    නිදහස ලැබීමෙන් පසු ගත වූ හැත්තෑ දෙවසර දෙස හැරී බැලීමේ දී අපට සතුටු විය හැකි කරුණු ගණනාවක් පවතිනවා. සර්වජන ඡන්දය මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මේ රට තුළ සුරැකිව පවතිනවා. ජනතාවගේ සෞඛ්‍ය තත්වය ශාක්ෂරතාව වැනි කරුණු වල දී වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අපේ රට ඉදිරියෙන් සිටිනවා.

    එමෙන්ම මෙරට නිදහස් මාධ්‍යයක් මෙන්ම පුරවැසියන්ගේ පෞද්ගලික සුරක්ෂිතතාව පිළිබඳව විශ්වාසයක් ඇතිව ජීවත්වීමට හැකියාව පවතිනවා. අද අප ඉදිරියේ ඇත්තේ, දේශපාලනය නිසා අඩාල වූ ඒ ආර්ථික ප්‍රගතිය නැවත රටට ලබා දීමේ අභියෝගයයි. අප රට නැවත ගොඩ ගැනීම සඳහා සියලු ජනවාර්ගික කොටස් සියලු ආගම්වලට අයත් ජනතාව එකා මෙන්ම රට ගොඩනැගීම මේ මහා ව්‍යාපෘතියට දායක වනු ඇති යන්න අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසයයි

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 07:57

    Latest News