වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන් මග

දෙසැ 16, 2018

    අද නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරු දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ කෙටි සටහනක්.

    කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධරයෙකි. එතුමා දේශපාලනට පිවිසියේ නීති ශිෂ්‍යෙයකු ලෙස සිටයදීය. 1977 දී බියගම ආසනය ජය ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ වික්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආණ්ඩුවෙහි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමත්‍යවරයා විය. වික්‍රමසිංහ මැතිතුමා, මෙරට ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙසට ද වාර්තාවකට හිමිකම් කියයි. වයස අවුරුදු 28 දී ඔහු කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වූයේ, තරුණ කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙසයි. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලය තුළ දී එතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නව කර්මාන්ත ප්‍රතිපත්තියක් රටට දායාද කළේය.

    මෙරට තරුණ නායකත්ව සංවර්ධනය සඳහා ජාතික තරුණ සේවා සභාව ආරම්භ කිරීම සහ යොවුන්පුරය ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්ප වේ. 1993 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයටත්, 1994 දී එක්සත් ජාතික පක්ෂ නායකත්වයටත් තේරී පත්විය. 2001 මහ මැතිවරණයෙන් ආසන 109ක් ලබා ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මෙරට 17 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

    අනතුරුව, 2005 මහමැතිවරණයේ දී විපක්ෂ නායක ධුරයට පත්විය. ඉන් අනතුරුව 2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන යමින් ඒ සඳහා එතුමා කැපවීමෙන් ක්‍රියා කළේය.

    එම ජයග්‍රහණයත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේය.

    අනතුරුව, 2015 අගොස්තු පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ආසන 106ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර, එම ආණ්ඩුවේ ද අග්‍රාමාත්‍යධුරයට පත්වූයේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අනතුරුව, වසර තුනහමාරක කාලයක් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක විය.

    වසර ගණනාවක සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට කැපවූ එතුමාගේ කාර්යභාරය අන්තර්ජාතික වශයෙන් ද ඇගැයීමට ලක්විය.

    ආසියා ශාන්තිකර ප්‍රජාතන්ත්‍රවාදි සංගමයේ සභාපති ධුරයට තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ සභාපති ධුරයෙන් ද පිදුම් ලැබීය. බුදු දහම සහ ඉතිහාසය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලන සහ ධර්මය නමැති ශාස්ත්‍රිය කෘතිය ද රචනා කළේය.

    සිව්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ එතුමා අන්තර්ජාතික කීර්තියට පත් දේශපාලනඥයෙකු ලෙස සැලකේ. පසුගිය ඔක්තෝබර් 26 වැනි දා නීත්‍යානුකූල නොවන ලෙස ධුරයෙන් පහ කිරීමෙන් පසුව ද, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමේ මෙහෙයුම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් ක්‍රියාකරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීටම ක්‍රියා කළේය.

    Latest News