මත්ස්‍ය තොග මිලදී ගන්න රජයෙන් මිලියන 600ක් වෙනම

අප්‍රේ 10, 2020

    ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය තොග ඉක්මණින් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ධීවර ප්‍රජාව හා පොදු මහජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම මෙහි අරමුණයි. ආණ්ඩුපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී මේ කරුණු අනාවරණය විය. කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් අන්තර්ජාතිකව ඇතිවිය හැකි තත්වය අවබෝධ කර ගෙන දේශීය කර්මාන්ත රැක ගැනීමට හා රටට අවශ්‍ය සහල්, එළවලු, පළතුරු හා කුකුල් මස් රට තුළම නිෂ්පාදනය කර ගැනීමටත් පියවර ගත යුතු බව, මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    බහුදින ධීවර යාත්‍රාවලින් රැගෙන එන මත්ස්‍ය තොග සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් ඉතා ඉක්මණින් මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර අවසන්.

    ඒවා දිවයිනපුරා ජනතාවට හිඟයකින් තොරව බෙදාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කරන බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 16:21

    Latest News