ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වර්ධනයක්

අප්‍රේ 24, 2020

    ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්‍ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අන්තර් මෝසම් තත්වය සක්‍රිය වීම ඊට හේතුවයි.

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මිලිමීටර සියය ඉක්ම වූ තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. “මේ වැසිවල තියෙන විශේෂත්වය තමයි ඉතාම සුළු කාල පරිච්ජේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. වර්ෂාවත් සමඟ තද සුළං ද ඇති විය හැක. ඊට අමතරව අකුණු අනතුරු. මේ තත්වය පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි“

    මන්නාරම සිට කොළඹ හරහා මඩකලපුව දක්වා තිබෙන වෙරළ තීරයට ඔබ්බෙන් ඇති ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    මහනුවර, හන්තාන ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් ද නිවාසවලට ද හානි සිදුව තිබේ. මාර්ගයට ගස්කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල විය. මේ අතර මහනුවර නගරයට ඊයේ ඇඳහැළුණු අධික වර්ෂාවත් සමඟ අලිමුඩුක්කුව ප්‍රදේශයේ වෙළෙඳසැල් 20කට පමණ හානි සිදුවිය.

    කුරුණෑගල ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුවුණේ ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන්. ප්‍රදේශය හරහා හමාගිය සුළඟින් මල්ලවපිට්ය, මාවතගම, මාස්පොත, ගනේවත්ත, වීරඹුගෙදර හා වාරියපොළ යන ප්‍රදේශවලට බලපෑම් එල්ලවිය. දුරකතන, විදුලිය බිඳවැටීම් ද සිදුවූ බව කුරුණෑගල ආපදා කළමනාකරණ අංශය පවසයි. විපතට පත් පුද්ගලයන් සඳහා ආපදා අත්තිකාරම් මුදලක් ලබාදීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගත්තේය.

    දැදිගම, කීනිවිට ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුවිය. ඊට කඩිනමින් වන්දි ගෙවන බව, කෑගල්ල ආපදා කළමනාකරණ අංශය පවසයි. විදුලිය බිඳවැටීම ද සිදුව තිබේ.

    Latest News