11 වැනිදා සිට පොදු ප‍්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ මෙසේයි

මැයි 03, 2020

    ලබන 11 වැනිදා සිට සියළු පොදු ප‍්‍රවාහන සේවා සැපයෙන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව පමණක් බව මගී ප‍්‍රවාහන කළමාණ කරන අමාත්‍යංශය නැවත අවධාරනය කරනවා.

    මීට අදාළව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ලිපියක් යවා ඇති බවයි, අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

    අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය හෙට (04) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

    කෙසේ වෙතත්, එම සේවාවන් සලසන්නේ අදාළ ආයතනවල ප‍්‍රධානීන් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.

    අදාල අවසර පත‍්‍ර සතිපතා ලබාගත යුතු වනවා.

    ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ‍්‍රහස්පතින්දාට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ආයතන හරහා යොමු කළ යුතුයි.

    දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙනු ඇති.

    දුම්රියට ප‍්‍රවේශවීම සඳහා එම SMS පණිවුඩය ආරක්ෂක අංශ වෙත ප‍්‍රදර්ශනය කළ යුතු බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

    සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමට ද සැලසුම් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘතකර සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමෙන් පසු නව ධාවන සැලසුම් ක්‍රියාත්මක කරන බවයි.

    ඒ යටතේ ඒ ඒ ආයතනයට වෙන් වෙන්ව බස් රථ ලබාදීමට ද කටයුතු කළ හැකි බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.

    එලෙස බස් රථ ලබා ගැනීම සඳහා දැනටමත් ආයතන ගණනාවක් ඉල්ලූම් කර තිබෙන බවයි, වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

    මේ අතර මාසයක පමණක් කාලය සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නැයි පෞද්ගලික බස් හිමියන් නැවත ඉල්ලා සිටිනවා.

    ඊට හේතු දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින තත්ත්වය තුළ පෞද්ගලික බස් රථ සඳහා ලාභයක් නැති බවත් එහෙත් සිදුවෙන පාඩුව පියවා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදු කරන බවයි.

    Latest News