නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම හමුවේ කළ අනාවරණය

ජූනි 10, 2020

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියේදී තමා එම බන්ධනාගාරය වෙත යවන ලද්දේ, ගෝඨාභය බවට පවසන්න යැයි, එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි පූජිත්‌ ජයසුන්දර මහනා, තමාව ඔහුගේ කාර්යාලයට ගෙන්වා උපදෙස්‌ දුන්‌ බව, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල්‌ රංගජීව මහතා ඊයේ හෙළි කළා.

    එලෙස ප්‍රකාශ කළ පූජිත්‌ ජයසුන්දර මහතා තමා ඉහළින්‌ බේරාගන්නා බවට සඳහන්‌ කළ බවද, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින්‌ නියොමාල්‌ රංගජීව මහතා කියා සිටියා.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කැරැල්ල සම්බන්ධයෙන්‌ අසත්‍ය කරුණු මත පදනම්ව තමාට එරෙහිව චෝදනා ගොනු කළ බව පවසමින්‌, ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන්‌ සභාව හමුවේ ගොනුකළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී, සාක්‍ෂි ලබා දෙමින්‌.

    රංගජීව මහතා කියා සිටියේ, අහිංසක මිනිසුන්‌ අමාරුවේ දැමීමට තමාට නොහැකි යැයි, පූජිත්‌ ජයසුන්දර මහතා හමුවේ තමන්‌ කියා සිටි බවයි. එවැනි ප්‍රකාශයක්‌ එහිදී සිදු කළේ නම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිධූරයට පත්‌ විය නොහැකි බවත්‌, රාජපක්‍ෂ මහතාට කොමිසම හමුවේ සාක්‍ෂි ලාබාදීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළා.

    කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින්‌ නියොමාල්‌ රංගජීව මහතා අවධාරණය කළේ, එවක හිටපු ආරක්‍ෂක ලේකම්‌ ගෝඨාභය රාජපක්‍ෂ මහතාව තමා කිසිදාක මුණගැසී හෝ දුරකථනයෙන්‌ හෝ කථා කර නොමැති බවයි. වැලිකඩ කැරැල්ල ඇති වූ දිනවල කිසියම් වැටලීමකට අදාළව ගෝඨාභය රාජපක්‍ෂ මහතාව දුරකථනයෙන්‌ අමතා තිබේ දැයි, කොමිසමේ ප්‍රධාන විනිසුරුවරයා විමසා සිටියා. එයට පිළිතුරු දෙමින්‌ රංගජීව මහතා කියා සිටියේ, "මම පොලිසියේ පහළම නිලධාරයෙක්‌, ඉහළ නිලධාරීන්‌ සිටියදී, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා මට කතා කරන්න වුවමනාවක්‌ නැහැ" යනුවෙන්‌. තමා කිසිදු දේශපාලනයකට සම්බන්ධ නොමැති බවත්‌, ඔහු එහි සඳහන්‌ කළා.

    Latest News